ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සිය 114 වසරක ඉතිහාසයේ ප්‍රථම වතාවට සංවිධානය කරනු ලබන ‘ජාතික බාලදක්ෂ පොසොන් කලාපය’ වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීමේ කප් සිටුවීමේ චාරිත්‍රය පසුගියදා සාර්ථකව පවත්වා තිබේ. ‘කොළඹටත් පොසොන්’ යන තේමාව පෙරදැරි කරගනිමින්, ජනාධිපති කාර්යාලයේ මගපෙන්වීම සහ රාජ්‍ය හා පෞද්ගලික අංශවල දායකත්වය ඇතිව මෙම පුණ්‍ය මහෝත්සවය සංවිධානය කෙරේ.
මෙම ජාතික බාලදක්ෂ පොසොන් කලාපය එළඹෙන ජූනි 28 සහ 29 යන දෙදින තුළ, පස්වරු 6.30 සිට පසුදින පාන්දර 1.00 දක්වා කොළඹ ශ්‍රීමත් චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවතේ (ලේක්හවුස් වටරවුමේ සිට පොලිස් මූලස්ථාන වටරවුම දක්වා) පැවැත්වීමට නියමිතය.
පොසොන් කලාපය තුළ බාලදක්ෂයන් සහ ආරක්ෂක අංශවල දායකත්වයෙන් නිර්මාණය වන යාන්ත්‍රික හා ස්වාභාවික පොසොන් කූඩු, උඩට නැඟ අත්දැකීම් විඳිය හැකි දැවැන්ත මිහින්තලා අනුරුවක් සහ තොරණ, බාලදක්ෂ දරුවන්ගේ දායකත්වයෙන් පැවැත්වෙන භක්ති ගීත ප්‍රසංග මෙන්ම ආකර්ෂණීය ආලෝක රටා සහ උසස් ප්‍රමිතියකින් යුත් දන්සල් ඇතුළත් වේ.
කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් සමස්ත ජනතාවට පොසොන් උත්සවයේ අසිරිය සහ භක්තිය අත්විඳීමට අවස්ථාව සැලසීම මෙහි ප්‍රධාන අරමුණයි. මෙම වැඩසටහන සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) විසින්ද, විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය සිරස මාධ්‍ය ජාලය විසින්ද ලබා දෙනු ලැබේ. මෙය මුළු රටම අත්දකින සංස්කෘතික මංගල්‍යයක් බැවින් එම අත්දැකීම විඳගැනීමට එක්වන ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මහජනතාවට ඇරයුම් කරයි.
















