ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය සඳහා තාක්ෂණික සහ මූල්‍යමය සහාය ලබා දීමට තමන් සූදානම් බව එක්සත් රාජධානියේ වෙළෙඳ නියෝජිත ලෝඩ් හැනට් ඔෆ් එවර්ටන් (Lord Hannett of Everton) මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදීය.
ලෝඩ් හැනට් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා ද එක් විය.
මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ කරුණු කිහිපයක් පහත දැක්වේ:
ශ්‍රී ලංකාවේ නොමිලේ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට රජය දරන උත්සාහය සහ වත්මන් සෞඛ්‍ය අංශය මුහුණ දෙන අභියෝග පිළිබඳව වෛද්‍ය හංසක විජේමුණි මහතා විසින් ලෝඩ් හැනට් මහතාව දැනුවත් කරන ලදී.
රජයේ සෞඛ්‍ය සේවාවල කාර්යක්ෂමතාව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍යමය ගැටලු විසඳා ගැනීමට ජාත්‍යන්තර සහාය අවශ්‍ය බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රජය විසින් ක්‍රියාත්මක කරන ‘ආරෝග්‍යා’ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන වැඩසටහන හරහා ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් පුළුල් කිරීම, රෝහල් යටිතල පහසුකම් නවීකරණය කිරීම සහ සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීමේ සැලසුම් පිළිබඳව මෙහිදී කරුණු පැහැදිලි කෙරිණි.
එක්සත් රාජධානියේ සෞඛ්‍ය පද්ධතියේ අත්දැකීම් බෙදා ගනිමින්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ අනාගත සංවර්ධනය වෙනුවෙන් දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ලෝඩ් හැනට් මහතා පැවසීය.
















