හැටන් කොටගල නගරයේ විවාහ උත්සවයකදී ඇති වූ ගැටුමක් සමතයකට පත් කිරීමට ගිය දිඹුලපතන පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර කලහකාරී ලෙස හැසිරුණු තවත් පුද්ගලයින් සිව් දෙනෙකු ජූලි මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.මෙම සැකකරුවන් සිද්ධිය වූ දින සිට පොලිසිය මගහරිමින් ප්‍රදේශයෙන් පලා ගොස් සිටි අතර, ඔවුන් අද (22) දින නීතිඥයෙකු මාර්ගයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට භාර විය. අනතුරුව හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා විසින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 11 දෙනෙකු මීට පෙර දිඹුලපතන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එම සැකකරුවන් ජුනි මස 22 වැනිදා දක්වා බන්ධනාගාරගත කර තිබූ අතර, ඔවුන් රුපියල් 50,000ක පුද්ගලික ශරීර ඇප මත මුදා හැර නඩුව යළිත් ජූලි මස 06 වැනි දින කැඳවීමට අධිකරණය නියෝග කර ඇත.
















