පුද්ගලයෙකුට වෘත්තිකයෙකු වීම දුෂ්කර කටයුත්තක් බවත්, “සාර්ථක වෘත්තිකයෙකු” වීම යනු හුදෙක් මුදල් සම්භාරයක් උපයා ගැනීම පමණක් නොවන බවත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පවසනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (ජූනි 22) පැවැති නව නීතිඥවරුන් දිවුරුම් දීමේ නිල උත්සවය අමතමින් අගවිනිසුරුවරයා කියා සිටියේ, වෘත්තිය තුළින් ලබාගන්නා දැනුම සහ සේවාදායකයින් වෙනුවෙන් ලබාදෙන ගුණාත්මක සේවය වෘත්තීය සාර්ථකත්වය මනින ප්‍රධාන නිර්ණායක වන බවයි. නීති ක්ෂේත්රයට එක්වූ නවක සාමාජිකයින් වෙත අධිකරණයේ උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ඒ මහතා, දිවුරුම් දුන් සියලුම නීතිඥවරුන් අධිකරණයේ නිලධාරීන් වශයෙන් පිළිගැනෙන බැවින්, ඔවුන් ඉදිරිපත් කරන කරුණු මත විශ්වාසය තබා අධිකරණය කටයුතු කරන බවද මතක් කර දුන්නා.
හොඳ නිපුණතාවයක් සහ කීර්තියක් සහිත පුද්ගලයන් පමණක් නීතිඥවරුන් වශයෙන් බඳවා ගත යුතු බවට පනතේ පවා පැහැදිලිව සඳහන්ව ඇති බව අවධාරණය කළ අගවිනිසුරුවරයා, නීතිඥවරයෙකු ලෙස තමන්ගේ ප්‍රමිතිය උසස් මට්ටමක පවත්වාගෙන යාමට සැමටම විශාල වගකීමක් ඇති බවද පෙන්වා දුන්නා. අද දින දිවුරුම් දුන් පිරිස දිගුකාලීනව මෙම උතුම් වෘත්තියේ ප්රමිතීන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි ඔහු කියා සිටියේ. වෘත්තීය මෙන්ම වෘත්තීය නොවන බාහිර ජීවිතයේදී ද අවංකභාවය පවත්වා ගැනීම ඉතා වැදගත් බවත්, මෙම වෘත්තියේ සැබෑ ගරුත්වය රැඳී පවතින්නේ ඔවුන් සමාජය තුළ හැසිරෙන ආකාරය මත බවත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා වැඩිදුරටත් අවධාරණය කළා.















