ශ්‍රී ලංකාවේ සංචාරක ඉතිහාසයේ මැයි මාසයකදී වාර්තා වූ ඉහළම සංචාරක පැමිණීම මෙම වසරේ (2026) වාර්තා වී තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සඳහන් කරන පරිදි, මැයි මාසයේ මෙරටට පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව 145,745කි. මෙය 2025 වසරේ මැයි මාසයට සාපේක්ෂව 9.65%ක වැඩිවීමකි.
කෙසේ වෙතත්, සංචාරක ආදායම සම්බන්ධයෙන් සලකා බැලීමේදී පහත සඳහන් කරුණු අනාවරණය වී තිබේ:
ඇමෙරිකානු ඩොලර් අගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව, 2026 මැයි මාසයේ සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 155.7කි. මෙය පසුගිය වසරේ එම මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 164.1 සමඟ සසඳන විට 5.11%ක පහළ යාමකි.
රුපියල් අගය අනුව සලකන විට, පසුගිය වසරේ රුපියල් බිලියන 49.1ක්ව පැවති ආදායම මෙවර රුපියල් බිලියන 50.6ක් දක්වා 3.05%කින් ඉහළ ගොස් ඇත. ඇමෙරිකානු ඩොලරය සාපේක්ෂව ශක්තිමත් වීම මෙම වෙනසට ප්‍රධාන හේතුව වී තිබේ.
වසරේ මුල් මාස 5 සඳහා මුළු සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.36ක් ලෙස සටහන් වේ. එය 2025 වසරේ එම කාලසීමාව තුළ වාර්තා වූ ඩොලර් බිලියන 1.54ක ආදායමට සාපේක්ෂව 11.9%ක පහළ යාමකි.
















