වෘත්තියක සාර්ථකත්වය රඳා පවතින්නේ කැපවීම සහ නොපසුබට උත්සාහය මත බවත්, වෘත්තීය ජයග්‍රහණ මූල්‍යමය ප්‍රතිලාභ මත පමණක් මැනිය යුතු නොවන බවත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අවධාරණය කරයි.
ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවති නව නීතිඥවරුන් දිවුරුම් දීමේ උත්සවය අමතමින් අගවිනිසුරුවරයා මේ බව සඳහන් කළේය. අලුතින් නීති වෘත්තියට එක්වූ සාමාජිකයන් වෙත සුබ පැතුම් එක් කළ ඒ මහතා, සාර්ථක නීති වෘත්තීය ගමනක් සඳහා දැනුම, නිපුණතාව සහ ගුණාත්මක සේවය අත්‍යවශ්‍ය බව සිහිපත් කළේය.
නව නීතිඥවරුන් දැන් අධිකරණයේ නිලධාරීන් වන බවත්, අධිකරණ පද්ධතිය තුළ ඔවුන්ට පැවරී ඇති වගකීම ඉතා වැදගත් බවත් පෙන්වා දුන් අගවිනිසුරුවරයා, නීතිඥවරුන් ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් අධිකරණය විශාල විශ්වාසයක් තබන බව ප්‍රකාශ කළේය.
නීති වෘත්තියට ඇතුළත් විය හැක්කේ යහපත් චරිතයක්, වෘත්තීය නිපුණතාවක් සහ ප්‍රබල කීර්තිනාමයක් ඇති පුද්ගලයන්ට පමණක් බව ද ඒ මහතා සිහිපත් කළේය. ඉහළ සදාචාරාත්මක සහ වෘත්තීය ප්‍රමිතීන් පවත්වා ගැනීම අඛණ්ඩ වගකීමක් බවත්, නීති වෘත්තියේ ගෞරවය සහ විශ්වසනීයත්වය ආරක්ෂා කිරීමට නව නීතිඥවරුන් දායක වනු ඇති බවත් තමන් විශ්වාස කරන බව ද අගවිනිසුරුවරයා පැවසීය.
නීති වෘත්තියේ කීර්තිනාමය රඳා පවතින්නේ නීතිඥවරුන් තම වෘත්තීය සහ පෞද්ගලික ජීවිතයේදී පෙන්වන හැසිරීම සහ වටිනාකම් මත බව ද අවසාන වශයෙන් අගවිනිසුරුවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















