නිල්වලා ගඟ ආශ්‍රිතව අවිධිමත්ව ඉදිවූ ලවණ බාධකය හේතුවෙන් 2019 වසරේ සිට 2022 වසර දක්වා අනුයාත කන්න 7ක් පුරා තම වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වූ තිහගොඩ ගොවිජන සේවා බල ප්‍රදේශයේ පීඩාවට පත් ගොවීන් 781 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 1200ක (කෝටි 120ක) වන්දි මුදලක් ලබා දීම 22 සිදු කෙරිණි.
මිදෙල්ලවල පුරාණ මහ විහාරයේදී පැවැති මෙම වන්දි ප්‍රදානෝත්සවය සඳහා මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතා ප්‍රමුඛ දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
මෙහිදී ලවණ බාධකයේ පවතින දෝෂ ස්ථිරවම නිවැරදි කර අනාගතයේ මෙවැනි ව්‍යසනයන් ඇතිවීම වැළැක්වීම සඳහා රුපියල් මිලියන 1000ක (කෝටි 100ක) අතිරේක ප්‍රතිපාදන වෙන් කර ඇති බව අනාවරණය විය. ඒ සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය හරහා විශේෂ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කිරීමට නියමිතය. තවද, ගොවීන්ගේ කුඹුරු අස්වැද්දීම සහ ගොවිතැන් කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ජනාධිපති විශේෂ ප්‍රතිපාදන ලෙස අමතරව රුපියල් මිලියන 300ක් වෙන් කර තිබේ.මෙතෙක් පොරොන්දුවලට පමණක් සීමා වී තිබූ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය යථාර්ථයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් පැමිණ සිටි ගොවි ජනතාව සිය ස්තුතිය පළ කළ අතර, වංචාවෙන් තොර සාධාරණ රාජ්‍ය පාලනයක් තුළ තමන්ට හිමි විය යුතු සහනය ලැබීම පිළිබඳව ඔවුන් සිය ප්‍රසාදය පළ කර සිටියහ.
















