මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානය (ADIC) විසින් සිදුකළ නවතම හෙළිදරව්වකට අනුව, දුම්වැටි අලෙවියෙන් රජයට ලැබිය යුතු බදු ආදායම පසුගිය 2024 වසරේදී රුපියල් කෝටි 940ක (බිලියන 9.4) දැවැන්ත අගයකින් පහළ ගොස් තිබේ. විධිමත් බදු එකතු කිරීමේ යාන්ත්‍රණයක් නොමැති වීම මෙම ආදායම් අහිමි වීමට ප්‍රධාන හේතුව බව එම වාර්තා පෙන්වා දෙයි. එසේ අහිමි වූ බදු මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයට බැරවීම වෙනුවට දුම්වැටි නිෂ්පාදක සමාගමේ අමතර ලාභයක් ලෙස ඔවුන් සතු වී ඇති බව අනාවරණය වේ.
මෙම අතිවිශාල මූල්‍ය අහිමිවීම සිදුව ඇත්තේ රටේ ආර්ථිකය අසීරු මට්ටමක පවතින පසුබිමක වන අතර, බදු ප්‍රතිපත්තිවල පවතින මෙවැනි සිදුරු හරහා පුද්ගලික සමාගම්වලට හිමිවන වාසිය මහජනතාවගේ බදු මුදල්වලින් පියවා ගැනීමට සිදුවීම බරපතළ කාරණයකි. රජයේ බදු ආදායම සූක්ෂම ලෙස අහිමි කරමින් නිෂ්පාදකයන් ලාභ ලැබීම කෙරෙහි වහාම අවධානය යොමු කළ යුතු බවත්, මෙම බදු කාන්දුවීම් වැළැක්වීම සඳහා විනිවිද පෙනෙන බදු එකතු කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කරන ලෙසත් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය යුතු වේ.
















