ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුදු පතුල ආශ්‍රිත ජලලේඛන විද්‍යාත්මක (Hydrography) පර්යේෂණ සිදු කිරීමේ ව්‍යාපෘති සඳහා ප්‍රංශ සංවර්ධන නියෝජිතායතනය (AFD) මඟින් යූරෝ මිලියන 40ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබේ. මෙම පර්යේෂණ සිදු කිරීම සඳහා ප්‍රංශ සමාගම් විශාල උනන්දුවක් දක්වන බව වාර්තා වේ.
ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති නිල හමුවකදී මෙම තොරතුරු අනාවරණය විය. මෙරට ආයෝජනය කිරීමට ප්‍රංශ සමාගම් විශාල උනන්දුවක් දක්වන බව පෙන්වා දුන් තානාපතිවරයා, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය සඳහා අයදුම් කිරීමටත් ප්‍රංශ සමාගම් අපේක්ෂාවෙන් පසුවන බව ප්‍රකාශ කළේය.
මීට අමතරව, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) ප්‍රංශ ආධාර යටතේ ක්‍රියාත්මක වන සමුද්‍රීය අධ්‍යයන වැඩසටහන තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රංශ ජනාධිපතිවරයාගේ එකඟතාවය පළවී ඇත. එම ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුම කඩිනමින් අවසන් කිරීමට දෙපාර්ශවය එකඟ විය.
ප්‍රතිසංස්කරණ කටයුතු සහ ජාතික සංහිඳියාව සඳහා ප්‍රංශයේ පූර්ණ සහයෝගය හිමිවන බව තානාපතිවරයා තහවුරු කළ අතර, හයිටි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදාවේ සහභාගීත්වයට සහාය ලබා දීමට ද ප්‍රංශ රජය එකඟතාව පළ කර ඇත. ලබන ජූලි මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා ප්‍රංශයේ නිල සංචාරයක නිරත වීමට නියමිත අතර, එහිදී ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂිතය.
















