රටේ නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා සිටියද, කථානායකවරයා ස්ථාවර නියෝග උල්ලංඝනය කරමින් ඊට ඉඩ ලබා නොදී ඡන්ද විමසීමකට යාමට උත්සාහ කිරීම නිසා තමන්ට විරෝධය පෑමට සිදුවූ බව මුජිබර් රහමන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන ත්‍රිත්වයෙන් එකක් හෝ අඩපණ වීම ප්රජාතන්ත්රවාදයට බරපතල තර්ජනයක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ඉහළ අධිකරණවල මාස ගණනාවක් තිස්සේ පවතින විනිසුරු පුරප්පාඩු අට පිරවීමට ජනාධිපතිවරයා කටයුතු නොකිරීම පිළිබඳව සිය දැඩි සැකය පළ කළේය.
මෙම පුරප්පාඩු පවත්වාගෙන යමින් විනිසුරුවරුන්ට “කැරට් අලයක්” පෙන්වා අධිකරණය විධායකයට අවශ්‍ය පරිදි මෙහෙයවීමට රජය උත්සාහ කරන්නේද යන සාධාරණ සැකය මතුවන බව රහමන් මහතා චෝදනා කළේය. අනෙකුත් වෘත්තීය සේවාවන්හි විශ්‍රාම වයස පිළිබඳ අවධානය යොමු නොකර, අධිකරණ ක්ෂේත්රයේ පමණක් විශ්‍රාම වයස ඉහළ දැමීමට රජය දරන උත්සාහය, විනිසුරුවරුන් සතුටු කර තමන්ට අවශ්‍ය තීන්දු ලබාගැනීමේ පටු අරමුණින් සිදුකරන්නක් බව ද හෙතෙම සඳහන් කළේය.
මීට පෙර විගණාධිපතිවරයා පත් කිරීමේදී ද ජනාධිපතිවරයා මාස නවයක් පුරා ප්‍රමාද කරමින් තමන්ට හිතවත් පුද්ගලයන් පත් කිරීමට උත්සාහ කළ අයුරු සිහිපත් කළ ඒ මහතා, නීතියේ ආධිපත්‍යය සුරකින බවට පොරොන්දු වී බලයට පත් වූ වත්මන් රජය, මේ වන විට එය උල්ලංඝනය කරමින් සිටින බව අවධාරණය කළේය. අධිකරණයේ ස්වාධීනත්වයට සිදුවන ඕනෑම බාධාවක් රටේ ප්රජාතන්ත්රවාදයේ අවමගුල වනු ඇති බවට ද ඔහු මෙහිදී අනතුරු ඇඟවීය.
















