වත්මන් රජය බලයට පත්වූයේම මෙරට නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට බවත්, අධිකරණයේ ස්වාධීනත්වයට රජය බලපෑම් කරන බවට විපක්ෂය නගන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවත් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
අතීතයේ දේශපාලන හා ධන බලය ඇති අයට නීතියෙන් බේරී සිටීමට හැකි වූ යුගය දැන් අවසන් වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වර්තමානයේ විමර්ශන සහ නඩු ඇසීමේ ක්‍රියාවලිය පෙරට වඩා වේගවත් වී ඇති බව සඳහන් කළේය. අතීතයේ විනිසුරුවරුන්ගේ නිවෙස්වලට ප්‍රහාර එල්ල කරමින් අධිකරණයට බලපෑම් කළ පිරිස් අද නීතියේ ආධිපත්‍යය ගැන කතා කිරීම හාස්‍යයට කරුණක් බවත්, ඔවුන් මෙලෙස චෝදනා නගන්නේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක වන විට ඇතිවන බිය නිසා බවත් හෙතෙම පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට පක්ෂපාතී පිරිස් පත් කිරීමේ ක්‍රමවේදයක් වත්මන් රජය තුළ නොමැති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ මත ව්‍යවස්ථාදායක සභාව හරහා ස්වාධීන ලෙස එම පත්වීම් සිදු කරන බවත් අවධාරණය කළේය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මේ වන විට විද්‍යාත්මක පදනමකින් යුතු සාකච්ඡාවක් පවතින බවත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු විවිධ සංවිධානවල අදහස් විමසීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස වඩාත් සුදුසු තීන්දුව ගන්නා බවත් ඔහු පැවසීය. නඩු ඇසීමේ වේගය වැඩි කරමින් අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීම රජයේ ප්‍රමුඛතම අරමුණ බව ද නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















