කලාපීය සාමය සහ ජනතා කේන්ද්‍රීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා සාර්ක් (SAARC) සංවිධානය ගෙන යන ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහය ලබාදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ සාර්ක් සංවිධානයේ මහ ලේකම් ගොලාම් සාර්වාර් (Golam Sarwar) මහතා අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදීය.
මෙම හමුවේදී සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන කරුණු:
ළමුන්ට එරෙහි හිංසනය අවසන් කිරීම පිළිබඳ අමාත්‍ය සමුළුව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරිය, දකුණු ආසියාතික කලාපය තුළ දරුවන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා කලාපීය මට්ටමින් ක්‍රියාමාර්ගවලට යොමුවීමේ වැදගත්කම අවධාරණය කළාය.
සාර්ක් රාමුව යටතේ ක්‍රියාත්මක වන සාමාජික රටවල් අතර සහයෝගිතාව ශක්තිමත් කිරීම, ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම සහ ළමා පෝෂණය නංවාලීම සඳහා සාර්ක් සංවිධානය ගෙන යන ප්‍රයත්න පිළිබඳව මහ ලේකම්වරයා අගමැතිනිය දැනුවත් කළේය.
කලාපීය සම්බන්ධතා සහ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සාර්ක් සංවිධානය සහ අනෙකුත් කලාපීය සංවිධාන අතර සමීප සබඳතා ගොඩනැඟීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
සාර්ක් සංවිධානයේ අරමුණු ඉදිරියට ගෙන යෑම සඳහා මහ ලේකම්වරයා සිදු කරනු ලබන සේවය අග්‍රාමාත්‍යවරිය මෙහිදී ඇගයීමට ලක් කළාය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, කත්මණ්ඩුහි සාර්ක් ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ වරුණ විල්පත සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
















