යුද සමයේදී එල්ටීටීඊ කඳවුරු සහ ඒ අවට ප්‍රදේශවල ගබඩා කර තිබියදී යුද හමුදාව විසින් අත්අඩංගුවට ගත්, මෙතෙක් අයිතිකරුවන්ට ලබා දී නොමැති රත්රන් නැවත ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එම අධිකරණ ක්‍රියාවලිය ඉදිරි මාස තුනක කාලයක් තුළ අවසන් කර, අදාළ රත්රන් නැවත අයිතිකරුවන් වෙත ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මුලතිව් හා කිලිනොච්චි ප්‍රදේශවල සිදු කළ ක්‍රියාන්විතවලදී එල්ටීටීඊ කඳවුරුවල තිබී යුද හමුදාව රත්රන් කිලෝ 150ක් පමණ අත්අඩංගුවට ගත් බවත්, 2014 වසරේදී අනන්‍යතාව තහවුරු කරගත් පුද්ගලයන් 2015 දෙනකුට අදාළ රත්රන් නැවත ලබා දුන් බවත් ඔහු සිහිපත් කළේය.
යුද හමුදාව කිසිදු අවස්ථාවක උතුරු-නැඟෙනහිර ජනතාවගේ රත්රන් බලහත්කාරයෙන් ලබාගෙන නොමැති බව අවධාරණය කළ අරුණ ජයසේකර මහතා, මේ වන විට අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සහභාගිත්වයෙන් මෙම ක්‍රියාවලිය සිදු කෙරෙන බව පැවසීය.
ස්වර්ණාභරණවල හිමිකරුවන් පිළිබඳ සියලු තොරතුරු යුද හමුදාව සතුව නොමැති බවත්, අධිකරණ ක්‍රියාවලිය හරහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.















