සිය ධුර කාලය අවසන් කිරීමට නියමිත දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානයේ (SAARC) මහලේකම් තානාපති ගොලාම් සර්වර් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්ද්‍ර මහතා හමුවිය.
මෙම හමුවේදී ගොලාම් සර්වර් මහතා සිය ධුර කාලය තුළ සාර්ක් සාමාජික රටවල් අතර සබඳතා ශක්තිමත් කිරීමට සහ කලාපීය සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමට දැක්වූ කැපවීම නියෝජ්‍ය ඇමැතිවරයා විසින් අගය කරන ලදී.
සාර්ක් සාමාජික රටවල් අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ඇති පොදු කැපවීම පිළිබඳව දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගත් අතර දකුණු ආසියාව මුහුණ දෙන පොදු අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම, ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම, කලාපීය සම්බන්ධතා වැඩිදියුණු කිරීම සහ සාර්ක් සහයෝගීතාව නැවත සක්‍රිය කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
සාර්ක් සංවිධානයේ අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා ගොලාම් සර්වර් මහතා ලබාදුන් දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළකළ නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්ද්‍ර මහතා, ඔහුගේ ඉදිරි කටයුතු සඳහා සුබපැතුම් එක් කළේය.
වඩාත් සම්බන්ධිත, සාමකාමී සහ සමෘද්ධිමත් දකුණු ආසියානු කලාපයක් ගොඩනැඟීම වෙනුවෙන් සාර්ක් සංවිධානය සහ එහි සාමාජික රටවල් සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ද නියෝජ්‍ය ඇමැතිවරයා මෙහිදී නැවතත් අවධාරණය කළේය.
















