පාසල් සිසුන් අතර පවතින පෝෂණ ගැටලු විසඳීම සහ බෝනොවන රෝගවලින් ඔවුන් ආරක්ෂා කර ගැනීම අරමුණු කරගනිමින් සකස් කළ ‘සෞඛ්‍යසම්පන්න පාසල් ආපණශාලා පිළිබඳ මාර්ගෝපදේශය’ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විණි.
කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේදී පැවති මෙම උත්සවයේදී ඇමැතිවරයා අවධාරණය කළේ, මෙම මාර්ගෝපදේශවල ඇති පණිවුඩය කඩිනමින් සමාජගත කළ යුතු බවයි.
මෙම මාර්ගෝපදේශයේ ප්‍රධාන අරමුණු වන්නේ නිසි පෝෂණයෙන් සහ බෝනොවන රෝග අවදානමකින් තොර නීරෝගි පාසල් දරු පරපුරක් නිර්මාණය කිරීම, පාසල් සිසුන්ට රසවත් සහ පෝෂ්‍යදායී ආහාර සැපයීම සහ ඒ පිළිබඳ නිවැරදි ආකල්ප ඇති කිරීම, පාසල් ආපණශාලා සනීපාරක්ෂකව සහ විධිමත් ලෙස පවත්වාගෙන යාම තහවුරු කිරීම සහ ආහාර පුරුදු සහ හැසිරීම් සිසුන් හරහා සමාජගත කිරීමයි.
ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ, ඇතැම් ආයතන පාසල් ව්‍යාපෘති සඳහා ලබාදෙන අනුග්‍රාහකත්වයන් හේතුවෙන් හානිකර ආහාර පාසල්වල අලෙවි කිරීම සිදුවන බවට පැමිණිලි ලැබී ඇති බවයි. පාසල්වල විවිධ වියදම් පියවා ගැනීමට දරුවන්ගේ සෞඛ්‍යය පරදුවට තබනවාද නැත්නම් දරුවන්ගේ අනාගත පෝෂණයට ප්‍රමුඛත්වය ලබා දෙනවාද යන්න පිළිබඳව විදුහල්පතිවරුන් සහ පාර්ශවකරුවන් දැඩි තීරණයක් ගත යුතු බව ඔහු අවධාරණය කළේය.
එසේම, මෙම මාර්ගෝපදේශය පාසල්වලට පමණක් සීමා නොකර සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතනවල පැවැත්වෙන රැස්වීම් සහ උත්සව සඳහා ද ඉහළ මට්ටමේ සිටම භාවිත කළ යුතු බව ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
සමීක්ෂණ දත්තවලට අනුව පාසල් සිසුන්ගෙන් 17.4%ක් දිනපතා කාබනීකෘත බීම වර්ග ද, 28%ක් දිනපතා සීනි සහිත පාන වර්ග ද පරිභෝජනය කරයි. සිසුන්ගෙන් 28.5%ක් ලුණු අධික කෙටි ආහාර සහ 29.3%ක් අධික මේදය සහිත ආහාර දිනපතා ලබා ගන්නා අතර 70.4%ක් පසුගිය සතිය තුළ අවම වශයෙන් එක් වරක් හෝ මග දෙපස වෙළෙන්දන්ගෙන් ක්ෂණික ආහාර ලබාගෙන ඇත.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අනෙකුත් අදාළ ආයතනවල ඉහළ පෙළේ නිලධාරීන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් ආයතනයේ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
















