ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික වාතාවරණය කෙරෙහි විශ්වාසය තබමින්, මෙරට ආයෝජනය කිරීමට ප්‍රංශ සමාගම් විශාල පිරිසක් උනන්දුවක් දක්වන බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමී ලැම්බර්ට් මහතා ප්‍රකාශ කළේය. තානාපතිවරයා මේ බව පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමැති විජිත හේරත් මහතා සමඟ පැවැති නිල හමුවේදීය.
කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය සංවර්ධන කටයුතු සඳහා අයදුම් කිරීමට ප්‍රංශ සමාගම් අපේක්ෂාවෙන් පසුවන බව තානාපතිවරයා සඳහන් කළේය. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) සමුද්‍රීය අධ්‍යයන වැඩසටහන ඉදිරියට කරගෙන යාමට ප්‍රංශ ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇති අතර, ගැඹුරු මුහුදු පතුල ආශ්‍රිත ජලලේඛන විද්‍යාත්මක පර්යේෂණ සිදු කිරීමට ද ප්‍රංශ සමාගම් සූදානමින් සිටී.
ප්‍රංශ සංවර්ධන නියෝජිතායතනය (AFD) මගින් ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති සඳහා යුරෝ මිලියන 40ක් වෙන් කර ඇති අතර, ඊට අදාළ අවබෝධතා ගිවිසුම කඩිනමින් අවසන් කිරීමට දෙපාර්ශ්වය එකඟ විය. හයිටි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව ලබාදෙන දායකත්වයට ප්‍රංශයේ සහය හිමිවනු ඇත.
ජූලි මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ විදේශ කටයුතු ඇමැතිවරයා ප්‍රංශයේ සිදු කිරීමට නියමිත නිල සංචාරයේදී ආයෝජන අවස්ථා පිළිබඳව ප්‍රංශ සමාගම් සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ. ජාතික සංහිඳියාව සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ජාත්‍යන්තර වශයෙන් සැමවිටම සහයෝගය ලබාදීමට ප්‍රංශ රජය කැපවී සිටින බව ද තානාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
















