ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දීර්ඝකාලීන ආර්ථික, සංස්කෘතික සහ ඓතිහාසික සබඳතා, වර්තමාන ගෝලීය ප්‍රවණතාවලට ගැළපෙන පරිදි වෙළෙඳ, සංචාරක, තාක්ෂණ සහ තිරසර සංවර්ධන ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් පුළුල් කිරීමට රජය සූදානම් බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා පැවසීය.
ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා – තායිලන්ත ව්‍යාපාරික කවුන්සිලයේ 25 වැනි සංවත්සර මහා සභාව අමතමිනි.
පසුගිය වසර 25ක කාලය තුළ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය සහ තායිලන්තය අතර ආර්ථික සබඳතා වර්ධනය කිරීමට මෙම ව්‍යාපාරික කවුන්සිලය ඉටුකළ මෙහෙවර ඇමැතිවරයා මෙහිදී අගය කළේය. දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවන් එකිනෙකට සමීප කරවමින්, ව්‍යවසායකයන් හා ජනතාව යා කරන ප්‍රායෝගික පාලමක් ලෙස මෙම කවුන්සිලය ක්‍රියා කර ඇති බවත්, දෙරට අතර වර්ධනය වන ආනයන හා අපනයන වෙළෙඳ පරිමාවන් ඒකාබද්ධව අත්කර ගත් ප්‍රගතියේ පැහැදිලි දර්ශකයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
ඉදිරි අනාගතයේදී වෙළෙඳ, සංචාරක, ප්‍රවාහන හා සැපයුම් දාම, තාක්ෂණික සහ තිරසර සංවර්ධන ක්ෂේත්‍රයන්හි සැබෑ අවස්ථා රැසක් පවතින බවත්, ඒ සඳහා නිරන්තර සහයෝගිතාව සහ විශ්වාසය පෙරදැරිව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
ආගමික, සංස්කෘතික හා ඓතිහාසික සබඳතාවලින් ශක්තිමත් වූ දෙරටේ මිත්‍රත්වය, වර්තමානයේ වර්ධනය වන ආර්ථික සහයෝගිතාව සහ ජනතාව අතර පවතින සුහදශීලී සන්නිවේදනය තුළින් වඩාත් තහවුරු වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
















