ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සංචාරක සබඳතා උපායමාර්ගික මට්ටමකින් ශක්තිමත් කිරීමේ අරමුණින් දෙරට අතර සංචාරක සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමට එකඟතාව පළවී තිබේ.
මොස්කව් නුවර පැවැති 6 වැනි ජාත්‍යන්තර සංචාරක සංසදයට සහභාගි වූ සංචාරක නියෝජ්‍ය ඇමැති මහාචාර්ය රුවන් රණසිංහ මහතා ඇතුළු දූත පිරිස මෙම තීරණාත්මක සාකච්ඡා සිදු කළහ.
රුසියානු සමූහාණ්ඩුවේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති දිමිත්‍රි වක්රුකොව් මහතා සමඟ පැවැති හමුවේදී මෙම ගිවිසුම අත්සන් කිරීමට දෙපාර්ශ්වයම එකඟ විය. 2026-2027 වසරවලදී රුසියානු සංචාරක නියෝජිතයන්, මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සඳහා ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර චාරිකා සංවිධානය කිරීමට තීරණය කෙරිණි. ශාන්ත පීටර්ස්බර්ග් සහ ස්වර්ඩ්ලොව්ස්ක් වැනි රුසියානු කලාපීය නියෝජිතයන් සමඟ සංචාරක හුවමාරු වැඩසටහන් පුළුල් කිරීමට ද සාකච්ඡා විය.
රුසියානු ජාතිකයන් සඳහා ලබාදී ඇති දින 30ක නොමිලේ වීසා ක්‍රමය ඉදිරි ශීත සෘතු නිවාඩු සමයේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් දිරිගැන්වීමට ඉවහල් වනු ඇති බව නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය. Aeroflot සහ Red Wings ගුවන් සේවාවල දායකත්වය අගය කරමින්, ශ්‍රී ලංකාව වසර පුරා සංචාරය කළ හැකි ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට රජය අපේක්ෂා කරයි.
මෙම අවස්ථාවට රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි සෝබිනී ගුණසේකර මහත්මිය ද සහභාගි විය.
















