ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම බෝගයක් වන පොල් වගාව ආශ්‍රිත අවදානම් කළමනාකරණය කිරීමේ අරමුණින් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ. නියඟය, ගංවතුර, අධික වර්ෂාව, සුළි සුළං, නායයෑම් සහ වන අලි ආක්‍රමණයන් වැනි ස්වභාවික සහ බාහිර ආපදා හේතුවෙන් පොල් වගාවට සිදුවන හානි අවම කර ගැනීමත්, ගොවීන්ගේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමත් මෙහි මූලික අරමුණයි.
මෙම රක්ෂණ සැලැස්ම යටතේ, එක් පොල් පැළයක් වෙනුවෙන් රුපියල් 40ක සහනදායී වාර්ෂික වාරිකයක් ගෙවීම මගින් රුපියල් 550ක රක්ෂණ ආවරණයක් ලබාගැනීමේ අවස්ථාව වගාකරුවන්ට උදාවී ඇත. එපමණක් නොව, දිගුකාලීන ආයෝජනයක් ලෙස සැලකෙන වසර 6ක උපරිම රක්ෂිත කාලසීමාව සඳහා රුපියල් 875ක වාරික මුදලක් යටතේ එක් පොල් පැළයක් වෙනුවෙන් වාර්ෂිකව රුපියල් 12,450ක රක්ෂණ ආවරණයක් ලබාගැනීමට ද හැකියාව සලසා තිබීම විශේෂත්වයකි.
මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම හරහා පොල් වගාකරුවන් මුහුණ දෙන අවදානම් සහගත තත්ත්වයන් මඟහරවා ගනිමින් වඩාත් ආරක්ෂිත සහ ස්ථාවර මට්ටමකින් පොල් කර්මාන්තය පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම උදෙසා ගනු ලැබූ මෙම පියවර, ජාතික මට්ටමින් පොල් නිෂ්පාදනය ඉහළ නැංවීමට සහ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබාදෙනු ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.
















