2030 වසර වන විට වාර්ෂික තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400 දක්වා ඉහළ නංවා, තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක් දක්වා වර්ධනය කිරීමේ අරමුණින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරෙන “Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) පොකුරු තේ ගම්මාන 500ක් ඇති කිරීමේ වැඩසටහන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද (24) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට අමාත්‍යාංශ නිලධාරීන් සහ අනුබද්ධ ආයතනවල සභාපතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
කුඩා තේ වතු ගොවීන්ගේ දළු අස්වැන්න සහ ආදායම් මට්ටම ඉහළ නැංවීම වේ. අගය එකතු කළ තේ නිෂ්පාදන හඳුන්වා දීම සහ තේ කර්මාන්තය සංචාරක ව්‍යාපාරය සමඟ ඒකාබද්ධ කිරීම මෙන්ම නවීන හා තිරසාර වගා ක්‍රම හඳුන්වා දීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත්, තේ නිෂ්පාදන සමූපකාර සමිති පිහිටුවීමත් මෙහි ප්‍රධාන අරමුණු අතර වේ.
අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ, 2026 වසර තුළ දිස්ත්‍රික්ක 14ක් ආවරණය වන පරිදි මූලික අදියරේ තේ ගම්මාන 144ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. මෙම තේ ගම්මාන තෝරා ගැනීමේදී කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව, තේ පර්යේෂණ ආයතනය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් විද්‍යාත්මක ක්‍රමවේදවලට අනුව තෝරාගැනීම් සිදුකර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
“Ceylon Tea Village” වැඩසටහනේ සමාරම්භක අවස්ථාව 2026 ජූලි මස 15 වැනි දින පැවැත්වීමට නියමිතය.
















