ලොව පුරා කෝටි සංඛ්‍යාත ක්‍රීඩකයින් (Gamers) මහත් ආශාවෙන් බලා සිටින Grand Theft Auto VI (GTA 6) ක්‍රීඩාවේ මිල ගණන් සහ නිකුත් කරන ආකාරය Rockstar Games ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඒ අනුව මෙහි සාමාන්‍ය සංස්කරණය (Standard Edition) ඇමෙරිකානු ඩොලර් 79.99කට (රුපියල් 24,000කට ආසන්න) සහ විශේෂ Ultimate Edition සංස්කරණය ඇමෙරිකානු ඩොලර් 99.99කට මිල කර ඇත.
කෙසේ වෙතත්, බීබීසී (BBC) පුවත් සේවයට අනුව රොක්ස්ටාර් ආයතනය ගේමර්ස්ලා පුදුමයට පත් කරමින් තවත් විශේෂ තීරණයක් ගෙන තිබේ. ඒ, මෙවර කඩ සාප්පුවලින් මිලදී ගැනීමට ඇති භෞතික ඇසුරුම් (Physical Copies/Boxes) තුළ කිසිදු ගේම් සීඩී තැටියක් (Game Disc) අඩංගු නොවන බවයි. ඒ වෙනුවට එම පෙට්ටිය තුළ ඇත්තේ ගේම් එක අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගැනීම සඳහා වන ඩිජිටල් කේතයක් (Digital Code) පමණි.
ජූනි 25 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මෙහි පෙර-ඇණවුම් (Pre-orders) ආරම්භ වන අතර, නොවැම්බර් 12 වැනිදා සිට ක්‍රීඩාව නිකුත් වීමට පෙරම ඩවුන්ලෝඩ් කර තබා ගැනීමට (Pre-load) අවස්ථාව හිමි වේ. සීඩී තැටි නොමැති වීම නිසා ගේම් එකතු කරන පිරිස් (Collectors) අධෛර්යමත් විය හැකි නමුත්, මෙවැනි තීරණයක් මඟින් ගේම් එක නිකුත් වීමට පෙර පිටතට කාන්දු වීම (Leaks) වැළැක්වීමට සහ රොක්ස්ටාර් සමාගමට වැඩි වාසියක් හිමි කර ගැනීමට හැකි වන බව ක්ෂේත්‍රයේ විචාරකයෝ පවසති.
















