ඉදිරි එංගලන්ත සංචාරයේදී ඉන්දීය යොවුන් පිතිකරු වෛභව් සූර්යවංශිට (Vaibhav Sooryavanshi) එංගලන්ත ආරක්ෂණ රෙගුලාසි (Safeguarding Regulations) හේතුවෙන් වෙනම ඇඳුම් මාරු කිරීමේ පහසුකම් භාවිත කිරීමට සිදුවන බව බ්‍රිතාන්‍යයේ ‘ද ගාඩියන්’ පුවත්පත වාර්තා කරයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සහ එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ (ECB) නීතිවලට අනුව වයස අවුරුදු 16ට අඩු ක්‍රීඩකයින්ට වැඩිහිටි ක්‍රීඩකයින්ගේ ඇඳුම් මාරු කරන කාමර භාවිත කිරීම තහනම්ය.
මේ හේතුවෙන් 15 හැවිරිදි සූර්යවංශි වෙනුවෙන් එංගලන්තයේ සෑම ක්‍රීඩාංගණයකම වෙනම පහසුකම් සැලසීමට පියවර ගැනේ. කෙසේ වෙතත්, තරගය අතරතුර සහ කණ්ඩායම් රැස්වීම්වලදී ඉන්දීය ක්‍රීඩාගාරය (Dressing Room) තුළ රැඳී සිටීමට ඔහුට අවසර හිමිවන අතර, මෙම සීමාව බලපැවැත්වෙන්නේ ඇඳුම් මාරු කරන අවස්ථාවලදී පමණි. ලබන සිකුරාදා අයර්ලන්තයට එරෙහිව තරග කරමින් ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන ලාබාලම ක්‍රීඩකයා වීමට නියමිත සූර්යවංශි, පසුගියදා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පන්දු 29කින් ලකුණු 94ක් රැස් කරමින් ලෝකයේම අවධානය දිනාගත් ක්‍රීඩකයෙකි. මෙම සංචාරය පුරාම ඔහුගේ දෙමාපියන් ද ඔහු සමඟ රැඳී සිටීමට නියමිතය.
















