ඉදිරියේදී පාරිභෝගිකයන්ට අවශ්‍ය ප්‍රමාණවත් පොල් සැපයුමක් සහතික කිරීමේ අරමුණින්, ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ පොල් පැළ ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් ඉදිරි වසර තුළ නිෂ්පාදනය කර රට පුරා බෙදා හැරීමේ වැඩසටහනක් හලාවත වැවිලි සමාගම විසින් ආරම්භ කර තිබේ.
හලාවත වැවිලි සමාගම සතු ප්‍රධාන වතු ආශ්‍රිතව නව පොල් පැළ තවාන් ආරම්භ කර ඇති අතර, පොල් වගාකරුවන්ගේ සංගමය සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් මගින් දිවයින පුරා සිටින වගාකරුවන්ට ගුණාත්මක පොල් පැළ ලබාදීමට පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ පවතින බොහෝ පොල් වගාවන් වයසින් වැඩි වීම නිසා ඒවායේ අස්වැන්න පහත වැටී ඇති බැවින්, නව වගාවන් හරහා අඩු කාලයකදී වැඩි අස්වැන්නක් ලබාගැනීම මෙම වැඩසටහනේ අරමුණයි.
පොල් වගාකරුවන්ගේ සංගමය සඳහන් කරන්නේ, වයස්ගත පොල් වගාවන් සඳහා යටි වගාවන් ලෙස නව පැළ රෝපණය කිරීම අත්‍යවශ්‍ය බවයි. මෙම වැඩසටහන හරහා ඉදිරි මාස කිහිපය තුළ වගාකරුවන්ගේ අවශ්‍යතාව පරිදි පැළ ලබාදීමට හැකි වන අතර, වසර පහකට පසුව මෙරට ජනතාවට හිඟයකින් තොරව පොල් පරිභෝජනය කිරීමට අවශ්‍ය පසුබිම සකස් වනු ඇති බවට ඔවුන් විශ්වාසය පළ කරයි.
පළුගස්වැව වතු කලාපයේදී සංකේතාත්මකව පොල් පැළ ලබාදීම සිදුකළ අතර, ඉදිරියේදී දිවයින පුරා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
















