දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් එස්. පෝල් කපූර් (S. Paul Kapur) මහතා, ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් තුන් දින නිල සංචාරයක් සඳහා පසුගිය ඉරිදා (21) කොළඹට පැමිණියේය.
සිය සංචාරය අතරතුර කපූර් මහතා ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පෞද්ගලික අංශයේ නායකයින් සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඇමරිකානු සමාගම්වල නියෝජිතයින් හමුවී ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන පුළුල් කිරීම, ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීම සහ කලාපීය හවුල් ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි.
මෙම හමුවීම්වල කොටසක් ලෙස, Chevron, Coca-Cola, Microsoft, Visa සහ JP Morgan ඇතුළු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රධාන ඇමරිකානු සමාගම්වල නායකයින් සමඟ කපූර් මහතා සාකච්ඡා පැවැත්වීය.
ද්විපාර්ශ්වික සබඳතා තුළ ඇමරිකානු ව්‍යාපාරවල වැදගත්කම අවධාරණය කරමින් කපූර් මහතා සඳහන් කළේ, ඇමරිකානු සමාගම් ශ්‍රී ලංකා-ඇමරිකා හවුල්කාරිත්වයේ කොඳු නාරටියක් බඳු බවත්, දේශීය දක්ෂතා සංවර්ධනය කිරීමට සහ ශ්‍රී ලංකාව විශ්වාසදායක ගෝලීය සැපයුම් දාමයන් සමඟ සම්බන්ධ කිරීමට ඔවුන් දායක වන බවත්ය.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම සංචාරය මගින් ඇමරිකානු සමෘද්ධිය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කරන හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමටත්, ඉන්දියන් සාගර කලාපයේ ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ගැඹුරු කිරීමටත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දක්වන කැපවීම විදහා දක්වන බවයි.















