ඉන්දීය රජයේ සහ ශ්‍රී ලංකා රජයේ ආධාර යටතේ මලෛගම් ජනතාව වෙනුවෙන් ඉදිකරනු ලබන නිවාස 4700ක ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙම ව්‍යාපෘතිය යටතේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ආපදා අවදානම් සහිත පවුල් ලෙස හඳුනාගත් පවුල් 2026ක් සඳහා ද, සෙසු නිවාස වතුකරයේ වැඩකරන ජනතාව සඳහා ද ලබා දීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය ප්‍රාදේශීය වැවිලි සමාගම් 22ක්, රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනවසම සහ ඇල්කඩුව යන වැවිලි සමාගම්වලට අයත් වතුවල පදිංචිකරුවන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වේ.
නිවාස ව්‍යාපෘතියේ මූල්‍යමය වටිනාකම පිළිබඳව කරුණු දක්වමින්, එක් නිවසක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජය රුපියල් ලක්ෂ 28ක් ද, ශ්‍රී ලංකා රජය රුපියල් ලක්ෂ 4ක් ද වශයෙන් මුළුමනින්ම රුපියල් ලක්ෂ 32ක මුදලක් වෙන් කර ඇති බව අනාවරණය විය.
මෙම ව්‍යාපෘතියේ කටයුතු මේ වසර අවසානයට පෙර නිම කරන ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා නිලධාරීන්ට දැඩි උපදෙස් ලබා දුන්නේය. නිවාස ඉදිකිරීම සඳහා යෝජිත ඉඩම් කඩිනමින් නිදහස් කර ගන්නා ලෙසත්, සුදුසු ඉඩම් හඳුනා ගැනීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් අවශ්‍ය වාර්තා ලබා ගන්නා ලෙසත් ඔහු නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, නිවාස සංවර්ධන අධිකාරිය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ වැවිලි මානව සංවර්ධන භාරය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වැවිලි සමාගම්වල නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















