පසුගිය දින කිහිපය පුරාම ශ්‍රී ලාංකීය සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ දැඩි අවධානයට හා කතාබහට ලක්වූ සිදුවීමක් වූයේ, රාත්‍රී කාලයේ වාහනයක් අසල සිටි කාන්තාවකට පිරිමින් දෙදෙනෙකු විසින් බැන වදිමින් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවයි. මෙම දර්ශන හේතුවෙන් සමාජය තුළ දැඩි නොසන්සුන්තාවක් සහ කම්පනයක් ඇතිව තිබුණි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය විසින් දියත් කළ විමර්ශනවලදී මෙම සිද්ධිය පිළිබඳව අනපේක්ෂිත සත්‍යයක් හෙළිවී තිබේ.
කෑගල්ල පොලිසිය විසින් මෙම වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර, එහි දැක්වෙන ප්‍රධාන සැකකරු හඳුනා ගැනීමට සමත් විය. පසුව, පහර කෑමට ලක්වූ බව පෙනී සිටි කාන්තාව සහ පහර දුන් බවට සැකකළ පුද්ගලයා කෑගල්ල පොලිස් ස්ථානය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
අදාළ පුද්ගලයින් ලබාදුන් ප්රකාශයන්ට අනුව, මෙය 2026 ජුනි 23 දින සිදුකර ඇති සිද්ධියක් වන අතර, එය කිසිදු සැබෑ පහරදීමක් නොවේ. මෙය ප්රෑන්ක් (Prank) හෙවත් විහිළු ස්වභාවයේ රැවටීමක් ලෙස සැලසුම් කර රූගත කරන ලද්දකි. මෙම වීඩියෝව කාන්තාවගේ නිවස ආසන්නයේදී රූගත කර ඇති අතර, දෙපාර්ශවයේම මිතුරෙකු විසින් එය සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.
විමර්ශනවලින් දෙපාර්ශවය අතර කිසිදු අපරාධමය හෝ ප්‍රචණ්ඩකාරී සිදුවීමක් සිදුව නොමැති බව තහවුරු විය. ඒ අනුව, මෙම ක්‍රියාව තුළින් සමාජය නොමඟ යැවීම සහ අනවශ්‍ය බියක් ඇති කිරීම සම්බන්ධයෙන් සැකකරුට දැඩි ලෙස අවවාද කළ කෑගල්ල පොලිසිය, ඔහුව මුදාහැරීමට පියවර ගෙන ඇත.
සමාජ මාධ්‍ය තුළ ඕනෑම දෙයක් ඉතා වේගයෙන් වෛරස් (Viral) වන යුගයක, මෙවැනි නොමඟ යවන සුළු වීඩියෝවන් සත්‍යතාවය සොයා බැලීමකින් තොරව බෙදා හැරීම තුළින් සමාජයට සිදුවන අයහපත පිළිබඳව මෙම සිදුවීම කදිම පාඩමක් උගන්වයි. එම නිසා මෙවැනි දසුන් සමාජගත කිරීමේදී වඩාත් වගකීමෙන් කටයුතු කරන ලෙස බලධාරීන් සිහිපත් කරයි.
















