2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘C’ කාණ්ඩය නියෝජනය කරමින් ස්කොට්ලන්තයට එරෙහිව පැවැති තීරණාත්මක තරගයෙන් ගෝල 3-0ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට බ්‍රසීලය සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ එම කාණ්ඩයේ ශූරයන් ලෙස බ්‍රසීලය තරගාවලියේ අවසන් 32 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.
තරගයේ ආරම්භයේ සිටම ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වූ බ්‍රසීලය, 7 වැනි මිනිත්තුවේදීම විනීසියස් ජූනියර් ලබාගත් ගෝලයත් සමඟ තරගයේ පෙරමුණ ගත්තේය. ඉන් නොනැවතුණු ඔහු පළමු අර්ධයේ අතිරේක කාලයේදී සිය දෙවැනි ගෝලය වාර්තා කරමින් බ්‍රසීලයට ප්‍රබල වාසියක් ලබා දුන්නේය.
දෙවැනි අර්ධයේදී තවදුරටත් සිය ආධිපත්‍යය පතුරුවා හැරීමට බ්‍රසීලය සමත් වූ අතර, 60 වැනි මිනිත්තුවේදී මැතිව්ස් කුන්හා වාර්තා කළ ගෝලයත් සමඟ බ්‍රසීලයේ ජයග්‍රහණය තහවුරු විය.
මෙම තරගයේ තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ දිගු කලක් ආබාධයකට ලක්ව සිටි බ්‍රසීල සුපිරි තරු නේමාර් ජූනියර් යළිත් ජාත්‍යන්තර පාපන්දු පිටියට පිවිසීමයි. දෙවැනි අර්ධයේදී ආදේශක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසි ඔහු, බ්‍රසීල කණ්ඩායම දිරිගන්වමින් ක්‍රීඩා කිරීම රසිකයන්ගේ දැඩි අවධානයට ලක් විය.
මෙම ජයග්‍රහණයත් සමඟ බ්‍රසීලය අපරාජිතව මීළඟ වටයට පිවිසෙන අතර, ස්කොට්ලන්තය මෙම පරාජයත් සමඟ තරගාවලියේ තීරණාත්මක අඩියක පසුවෙයි.
















