ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, පාස්කු ප්‍රහාරය සහ අංක තහඩු නැති සුදු වෑන් රථවලින් සිදුකළ පැහැරගැනීම් වැනි රටම කම්පනයට පත් කළ බරපතල අපරාධවලට සම්බන්ධ පාර්ශවයන්ට දඬුවම් ලබා දීමේ අවශ්‍යතාවය අද (25) පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස අවධාරණය කෙරිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂයෙන් පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණ සිදු කළ ප්‍රකාශයේදී මෙවැනි අපරාධවලට යුක්තිය ඉටුකිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.
මත්ද්‍රව්‍ය උවදුර සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මගින් මෙරට සමාජය සහ දේශපාලන ක්ෂේත්‍රය වසර ගණනාවක් පුරා අස්ථාවර කර තිබූ බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳව අද දිනයේ පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී ඔහු මෙම අදහස් පළ කළේය.
ජනාධිපතිවරයා අවධාරණය කළේ අතීතයේ සිදු වූ අභිරහස් ඝාතන සහ පැහැරගැනීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී තිබූ බාධක ඉවත් කරමින්, වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කිරීම සඳහා රජය කැපවී සිටින බවයි. නීතියට ඉහළින් කිසිවෙකු නොසිටින බවත්, සාක්ෂි මත පදනම්ව නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එසේම, අතීතයේ සිදුවූ එවැනි බරපතල අපරාධ නඩු විභාග කිරීමේදී මතුව ඇති නීතිමය දුෂ්කරතා මග හැරීම සඳහා අවශ්‍ය නව නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දීමට රජය සූදානම් බව ජනාධිපතිවරයා පැවසීය. විශේෂයෙන්ම සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම මගින් සැකකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ ඔහු මෙහිදී පැහැදිලි කළේය.
පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ දූෂණය සහ අපරාධවලින් තොර රටක් ගොඩනැගීම සඳහා වත්මන් රජය ගන්නා මෙම ක්‍රියාමාර්ග ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීමේ ප්‍රධාන පියවරක් බවයි.
















