ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව (HNB), ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ. HNB මූලස්ථානයේදී සිදු වූ මෙම ගිවිසුම්ගත වීම හරහා දිවයින පුරා විසිරී සිටින 25,000කට අධික IESL ඉංජිනේරු වෘත්තිකයින් පිරිසකට සුවිශේෂී මූල්‍ය ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත.
මෙම හවුල්කාරිත්වය යටතේ IESL සාමාජිකයින්ට පූර්ව අනුමැතිය සහිත ප්‍රීමියම් ක්‍රෙඩිට් කාඩ්පත් සහ පුද්ගලික ණය පහසුකම් හිමිවේ. මීට අමතරව, සාමාන්‍ය බැංකු සේවාවන් සඳහා විශේෂ සහන රැසක් ද පිරිනැමේ. නියමිත සුදුසුකම් සපුරාලන සාමාජිකයින්ට HNB හි ඉහළම බැංකු සේවාව වන ‘HNB Priority Circle’ සමඟ සම්බන්ධ වීමේ අවස්ථාව ද උදාවේ. ස්වාධීන උපදේශකයින් ලෙස කටයුතු කරන සහ වෘත්තීය මට්ටමේ සේවා අපේක්ෂා කරන ඉංජිනේරුවන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම පැකේජය නිර්මාණය කර ඇත.
HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා පවසා සිටියේ, ඉංජිනේරුවන්ගේ වෘත්තීය ගරුත්වයට ගැළපෙන මූල්‍ය සේවාවන් පිරිනැමීම හරහා ඔවුන්ට ඉහළම වටිනාකමක් ලබා දීමට බැංකුව කැපවී සිටින බවයි.
1906 වසරේදී ආරම්භ වූ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) අද වන විට ක්ෂේත්‍ර 20කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් දේශීය සහ විදේශීය ශාඛා ජාලයක් හරහා සිය මෙහෙයුම් පවත්වාගෙන යයි. Chartered Engineer වෘත්තීය සුදුසුකම පිරිනැමීමට ශ්‍රී ලංකාවේ ඇති එකම බලයලත් ආයතනය වන්නේ ද IESL ය.
IESL සභාපති ඉංජිනේරු කෝසල කඹුරදෙණිය මහතා ප්‍රකාශ කළේ, තම සාමාජිකයින්ට ගුණාත්මක බැංකු සේවාවන් ලබා ගැනීම පහසු කිරීම සඳහා HNB සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය සුවිශේෂී පියවරක් බවයි. වෘත්තීය ජීවිතය ආරම්භ කරන ඉංජිනේරුවන්ට සහ ස්වාධීන වෘත්තිකයින්ට මෙම සේවාවන් සුවිශේෂී වාසියක් වනු ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
















