මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කළ බව තහවුරු කිරීමට ඇඟිල්ලේ තීන්ත ආලේප කිරීමේ ක්‍රියාවලිය අහෝසි කිරීම මගින් එක් මැතිවරණයකට වැයවන රුපියල් මිලියන 100ක පමණ මහජන මුදල් ඉතිරි කරගත හැකි බව පැෆ්රල් (PAFFREL) සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
මෙම තීරණය සම්බන්ධයෙන් හෙට්ටිආරච්චි මහතා දැක්වූ අදහස්:
මෙය හදිසියේ ගත් තීරණයක් නොව වසර ගණනාවක් තිස්සේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර සාකච්ඡා වූ කරුණකි. තීන්ත ආනයනය කිරීම, බෙදාහැරීම සහ ඒ සඳහා අවශ්‍ය පරිපාලන වියදම් ඉවත් වීම නිසා මැතිවරණ වියදම සැලකිය යුතු ලෙස අඩු වේ.
ඡන්දය ප්‍රකාශ කිරීමේදී ජාතික හැඳුනුම්පත අනිවාර්ය කර තිබීම නිසා ඡන්දදායකයාගේ අනන්‍යතාව දැනටමත් දැඩිව තහවුරු කෙරේ. එමගින් වෙනත් පුද්ගලයකු වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමේ අවස්ථා අවම වී ඇති අතර, ඡන්ද ලේඛන සකස් කිරීමට තාක්ෂණය යොදා ගැනීම නිසා හොර ඡන්ද භාවිතයට ද අවස්ථාවක් නොමැත.
දශක ගණනාවක් පැවති තීන්ත ආලේප කිරීමේ අවශ්‍යතාව වර්තමානයේ පවතින තාක්ෂණික හා නීතිමය පසුබිම තුළ දැඩිව නොපවතින බැවින්, මෙම තීරණය සෑම අතින්ම කාලෝචිත සහ වැදගත් තීරණයක් බව පැෆ්රල් සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි.















