නිසි ලෙස ලියාපදිංචි නොවී අන්තර්ජාල වෙළෙඳ වේදිකා (Online Platforms) හරහා සිදු කෙරෙන අවිධිමත් ව්‍යාපාර හේතුවෙන් රටට ඩොලර් මිලියන 780ක පමණ අලාභයක් සිදුව ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳුන්ගේ සංගමයේ (SLRA) 09 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අමාත්‍යවරයා විසින් පෙන්වා දුන් ප්‍රධාන කරුණු:
බදු නොගෙවා සහ ලියාපදිංචි නොවී සිදු කෙරෙන මෙම ඔන්ලයින් ව්‍යාපාර නිසා නීත්‍යනුකූලව බදු ගෙවන ව්‍යාපාරිකයන් දැඩි අසාධාරණයකට ලක්ව ඇති බව අමාත්‍යවරයා අවධාරණය කරයි.
සිල්ලර වෙළෙඳාම යනු දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 20%කට වඩා වැඩි දායකත්වයක් ලබා දෙමින්, මිලියන දෙකකට අධික පිරිසකට රැකියා උත්පාදනය කරන රටේ ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍රයකි.
රටේ ලියාපදිංචි ව්‍යාපාර ගණන 65,000ක් පමණ වුවද, ගමේ කුඩා සිල්ලර කඩයේ සිට ජාතික මට්ටමේ B2C ව්‍යාපාර දක්වා විශාල පිරිසක් තවමත් නිසි පරිදි ලියාපදිංචි වී නොමැත.
සමස්ත රටේ ආර්ථික දියුණුව සඳහා සියලුම ව්‍යාපාරිකයන් විධිමත් ක්‍රමවේදයකට අනුගත කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කළේය. ව්‍යාපාර විධිමත් කිරීමෙන් ව්‍යාපාරිකයන්ට මෙන්ම රටට ලැබෙන ප්‍රතිලාභ අතිමහත් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
පාරිභෝගිකයන් සහ සිල්ලර වෙළෙඳුන් යන දෙපාර්ශ්වයේම අයිතිවාසිකම් සුරැකීමට අමාත්‍යාංශය කැපවී සිටින අතර, පාරිභෝගික විශ්වාසය ආරක්ෂා කරමින් කටයුතු කිරීමේ වගකීම සිල්ලර වෙළෙඳුන් සතු බව ද අමාත්‍යවරයා සිහිපත් කළේය.















