ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීමට Zydus Lifesciences සහ Sunshine Healthcare එක්ව “Zydus Sunshine Lifesciences පුද්. සමාගම” නමින් නව ඒකාබද්ධ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ හොරණ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ අක්කර හතරක භූමි ප්‍රමාණයක නව ඖෂධ නිෂ්පාදනාගාරයක් ස්ථාපිත කිරීමට නියමිත අතර, ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 20කට අධික මුදලක් ආයෝජනය කිරීමට දෙපාර්ශවයම එකඟ වී තිබේ. මෙම නව කර්මාන්තශාලාව මඟින් ශ්‍රී ලංකාවේ පාරිභෝගික ඖෂධ වෙළඳපොළ සඳහා අවශ්‍ය නිෂ්පාදන සිදු කිරීම මූලික අරමුණයි.
දේශීය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම මඟින් ඖෂධ ආනයනය මත පවතින යැපීම අවම කර ගැනීමට සහ ඖෂධ සැපයුම් දාමය සුරක්ෂිත කිරීමට හැකියාව ලැබේ. එමෙන්ම Zydus සමාගම සතු ජාත්‍යන්තර තාක්ෂණික දැනුම සහ නිෂ්පාදන ප්‍රමිතීන් මෙරටට හඳුන්වා දීමටත්, නව නිෂ්පාදනාගාරය හරහා දේශීයව රැකියා අවස්ථා බිහි කිරීමටත් අපේක්ෂිතය.
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර, නිෂ්පාදනය කෙරෙන ඖෂධ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) රෙගුලාසිවලට අනුකූලව වෙළඳපොළට නිකුත් කෙරේ. Zydus Lifesciences හි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ෂාර්විල් පී. පටෙල් මහතා සඳහන් කළේ ශක්තිමත් දේශීය නිෂ්පාදන ධාරිතාවක් ඕනෑම රටක සෞඛ්‍ය පද්ධතියක ස්ථාවරත්වයට අත්‍යවශ්‍ය සාධකයක් බවයි. සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පෙන්වා දුන්නේ මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ සුව සේවා ක්ෂේත්‍රයේ සුරක්ෂිතතාව වෙනුවෙන් තැබූ වැදගත් පියවරක් බවයි.
















