ආහාර ආනයනකරුවන් රේගු නිශ්කාශන කටයුතු වලදී මුහුණ දෙන ගැටළු සහ රාජ්‍ය ආයතන කිහිපයකින් සිදුකරන අතිරික්ත පරීක්ෂණ හේතුවෙන් සිදුවන ප්‍රමාදයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උසස් මට්ටමේ සාකච්ඡාවක් පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා රේගුව, ශාක නිරෝධායන ඒකකය, ආහාර පාලන ඒකකය, ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරීන් මෙන්ම පෞද්ගලික ආනයනකරුවන් ද සහභාගී වූහ.
එකම සහල් සාම්පලයක් සඳහා ස්ථාන දෙකකදී පරීක්ෂා කර පරස්පර වාර්තා දෙකක් නිකුත් කිරීම වැනි ගැටළු මෙහිදී ආනයනකරුවන් විසින් පෙන්වා දෙන ලදී. මෙයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, රසායනාගාර කටයුතු කඩිනම් කිරීම සහ ඇගයීම් ක්‍රමවේදයන් ප්‍රමිතිගත කිරීමේ අවශ්‍යතාවයයි. වරායේ රඳවා තබා ගන්නා ආහාර බහාලුම් නිදහස් කිරීමේ ප්‍රමාදයන් හේතුවෙන් ආනයනකරුවන්ට මූල්‍ය පාඩු සිදුවන අතර, එම බර අවසානයේ පාරිභෝගිකයා මත පැටවෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එබැවින්, සියලු ආයතන හරහා ලේඛන පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට සහ කාලය සහ පිරිවැය අවම වන පරිදි ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ආනයනික ආහාරවල උපරිම ගුණාත්මකභාවය සහතික කිරීම අත්‍යවශ්‍ය බවත්, අඩු මිලට භාණ්ඩ ලබා දීම මෙන්ම පාරිභෝගිකයාට සුදුසු ආහාර බව සහතික කිරීමේ වගකීම ද ආනයනකරුවන් සතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















