Sarvodaya Development Finance PLC (SDF) 2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ඉතා ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීමට සමත්ව ඇත. සමාගමේ වගකිවයුතු මූල්‍ය ප්‍රතිපත්තිය සහ ජනතාව කේන්ද්‍ර කරගත් ව්‍යාපාරික දැක්ම මනාව විදහා දක්වමින්, ආදායම, ලාභදායිත්වය සහ වත්කම් ගුණාත්මකභාවය යන ප්‍රධාන අංශවල කැපී පෙනෙන වර්ධනයක් මෙම වසර තුළ සටහන් විය.
සමාගම පසුගිය මූල්‍ය වර්ෂය තුළ රුපියල් බිලියන 6.42ක මුළු ආදායමක් වාර්තා කළ අතර එය පෙර වර්ෂයට සාපේක්ෂව 46.8%ක වර්ධනයකි. ව්‍යාපාර ව්‍යාප්තිය සහ ආදායම් උත්පාදනය කරන වත්කම්වල වර්ධනය හේතුවෙන් ශුද්ධ පොලී ආදායම 35.4%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3.58ක් ලෙස සටහන් විය. මුළු මෙහෙයුම් ආදායම 40.8%කින් වර්ධනය වී රුපියල් බිලියන 4.15ක් ලෙස වාර්තා විය.
ලාභදායීතාවය අතින් ගත් කල, බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 1.36ක් ලෙස 63.8%ක වර්ධනයක් පෙන්නුම් කළේය. සමාගම ලබාගත් විශිෂ්ටතම ජයග්‍රහණයක් ලෙස වසරේ ශුද්ධ ලාභය 73.1%කින් ඉහළ ගොස් රුපියල් මිලියන 820.1ක් ලෙස සටහන් වූයේ පෙර වසරේ පැවති රුපියල් මිලියන 473.8ක මට්ටම අභිබවා යමිනි. සමාගමේ සමස්ත වත්කම් 65.8%ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 37.37ක් දක්වා වර්ධනය වී ඇත.
මෙම ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රධාන විධායක නිලධාරී නිලන්ත ජයනෙත්ති මහතා සඳහන් කළේ, 2025/26 මූල්‍ය වර්ෂයේ ලැබූ ජයග්‍රහණ සමාගමේ ස්ථාවර ව්‍යාපාරික ආකෘතියේ සහ ක්‍රමෝපායික සැලසුම්වල සාර්ථකත්වය තහවුරු කරන බවයි. දිවයින පුරා සිටින ජනතාව සහ ව්‍යවසායන් නඟාසිටුවමින් තිරසාර වටිනාකමක් නිර්මාණය කිරීමට සමාගම නිරතුරුවම කැපවී සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
සමාගම සතු ප්‍රාග්ධන පදනම ශක්තිමත් මට්ටමක පවතින අතර, පළමු පෙළ ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාතය 15.48%ක් ලෙසත්, සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 22.13%ක් ලෙසත් සටහන් වේ. වත්කම්වල ගුණාත්මකභාවය ඉහළ නංවමින් දළ සහ ශුද්ධ ණය අනුපාතයන් සැලකිය යුතු ලෙස පහත හෙළීමට SDF සමත්ව ඇති අතර, මෙම මූල්‍ය ස්ථාවරත්වය හේතුවෙන් ‘Lanka Ratings (SL) BBB- Stable’ ශ්‍රේණිගත කිරීම ලැබීමට ද සමාගම සුදුසුකම් ලැබීය.
ශාඛා 56ක ජාලයක් හරහා ක්‍රියාත්මක වන Sarvodaya Development Finance ආයතනය, ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික සංවර්ධනයට සහ මූල්‍ය ඇතුළත් කිරීම් පුළුල් කිරීමට අඛණ්ඩව සිය දායකත්වය සපයයි.
















