කෙහෙල්බද්දර යනු ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රදේශයකි. මෙය උඩුගම්පොළ – සීදුව මාර්ගයේ නාගස්මණ්ඩිය හන්දිය පසුකරන විට හමුවන ප්‍රදේශයකි. මෙම ප්‍රදේශය මෑතකදී රටේ දැඩි කතාබහකට ලක්වූයේ ‘කෙහෙල්බද්දර පද්මේ’ හෙවත් කෝරළගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා නමැති පාතාල නායකයාගේ උපන් ගම හෝ ඔහුගේ පවුලේ පදිංචිය ලෙස ප්‍රසිද්ධියට පත්වීම නිසාය.
කෙහෙල්බද්දර පද්මේ හෙවත් කෝරළගමගේ මන්දිනු පද්මසිරි පෙරේරාගේ පියා වූයේ ‘කෙහෙල්බද්දර නෙවිල් පෙරේරා’ය. නෙවිල් පෙරේරාගේ පියා ප්‍රදේශයේ ‘අල්කාන්තර’ නමින් ප්‍රසිද්ධ චරිතයකි. නෙවිල් පෙරේරා ද තරුණ වියේදී දේශපාලන ඇසුරක් තිබූ, නමුත් පසුව ව්‍යාපාරික කටයුතුවල නිරත වූවෙකි. 1976 දී යොවුන් වියේ ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මිය යාම නිසා ඔහුට සිරදඬුවම් විඳීමට සිදු විය. 1984 දී නිදහස් වී පැමිණි ඔහු, 1985 දී මලනී නම් කාන්තාවක සමඟ විවාහ වී පවුල් ජීවිතයක් ආරම්භ කළේය. 1989 භීෂණ සමයේ ආරක්ෂාව පතා තායිවානයට පලා ගොස්, පසුව යළි පැමිණ ලී මෝලක් සහ ලීබඩු ව්‍යාපාරයක් සාර්ථකව පවත්වාගෙන ගියේය.
නෙවිල් පෙරේරා සහ මලනී යුවළට දරුවන් දෙදෙනෙකු සිටි අතර, වැඩිමහල් දරුවා කුසුම්සිරි වන අතර දෙවැනි දරුවා 1987 දී උපන් පද්මසිරි (පද්මේ) ය. පද්මසිරි උඩුගම්පොළ ජාතික පාසලෙන් සහ කඳාන ද මැසනඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා, ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළට පෙනී සිටි දක්ෂ සිසුවෙකි. පසුව ඔහුට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයක් ලබා දීමට ද පියා කටයුතු කළේය. නෙවිල්ට අවශ්‍ය වූයේ තම පුතාව එංගලන්තයට යවා උසස් අධ්‍යාපනය ලබා දී සමාජයේ වැදගත් පුද්ගලයෙකු කිරීමටය.
උසස් අධ්‍යාපනයෙන් පසු පද්මසිරි ව්‍යාපාරික ක්ෂේත්‍රයට පිවිසියේය. ඔහු පස් ව්‍යාපාරයේ නිරත වෙද්දී ‘පස් පොඩ්ඩා’ සමඟ ආරවුලක් ඇති කරගත්තේය. එයට මුල් වූයේ පස් පොඩ්ඩාගේ දැනුවත්භාවයකින් තොරව ඔහුගේ ඉඩමක් විකිණීමයි. මෙම ආරවුල උත්සන්න වී පද්මේගේ ඥාතියෙකු වූ ‘චමී’ ඝාතනය කෙරිණි. මේ සිදුවීම් මාලාවත් සමඟ පස් පොඩ්ඩා, පද්මේව ඝාතනය කිරීමට සැලසුම් කළේය.
2018 පෙබරවාරි 06 වන දින, පස් පොඩ්ඩාගේ අනුගාමිකයින් වන කෙහෙල්බද්දර ලක්මාල් සහ නිට්ටඹුවේ චතුරික පද්මසිරිව ඝාතනය කිරීමට ඔහුගේ නිවසට පැමිණියහ. පද්මසිරි නිවසේ නොසිටි බැවින්, ඔවුන් නිවසේ ආලින්දයේ පුවත්පතක් බලමින් සිටි පද්මේගේ පියා වූ නෙවිල් පෙරේරාව වෙඩි තබා ඝාතනය කළහ. අහිංසක ව්‍යාපාරිකයෙකු වූ නෙවිල් පෙරේරාගේ මරණය පද්මේගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළේය.
තම පියාගේ ඝාතනයට වගකිවයුත්තේ ‘පස් පොඩ්ඩා’ සහ ‘ගනේමුල්ලේ සංජීව’ බව දැනගත් පසු පද්මේ පළිගැනීමට තීරණය කළේය……..
පස් පොඩ්ඩාගේ ඝාතනය 2022 ජූලි 27 දින ගම්පහ අධිකරණයේ නඩුවකට සහභාගි වී පිටතට පැමිණි පස් පොඩ්ඩා, තමා පැමිණි කැබ් රථයේ සිටියදී ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කරන ලදී.
ගනේමුල්ලේ සංජීවගේ ඝාතනය 2025 පෙබරවාරි 19 දින අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී, නීතිඥවරයෙකු ලෙස වෙස් වලාගෙන පැමිණි ඝාතකයෙකු ලවා ගනේමුල්ලේ සංජීවව වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.
‘ගනේමුල්ලේ සංජීව’ ඝාතනය අතිශය සැලසුම් සහගතව සිදුකළ අපරාධයක් වන අතර, ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් හෙළි කරගත් තොරතුරු අනුව නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන අධිකරණය තුළට ගොස් ගිනි අවිය ලබාදීම ‘ඉෂාරා සෙව්වන්දි’ කළේය.
අධ්‍යාපනයෙන් සාර්ථක වීමට සිහින දුටු මන්දිනු පද්මසිරි පෙරේරා අද වන විට බරපතල අපරාධකරුවෙකු ලෙස හඳුනාගෙන ඇත. ඔහු ඉන්දුනීසියාවේ සැඟවී සිටියදී ජාත්‍යන්තර පොලිසියේ මැදිහත්වීමෙන් අත්අඩංගුවට පත් වූ අතර, මේ වන විට ඔහු ඇතුළු පිරිස මෙරට ආරක්ෂක අංශ භාරයේ පසුවෙති.
















