නුවරඑළියේ නවාතැන්පොළකදී භෞතචිකිත්සකවරියක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, ප්‍රධාන සැකකරුට ප්‍රවාහන සහ නවාතැන් පහසුකම් ලබා දුන් බව කියන කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපතිවරයා සහ කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ රියැදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ස්ථානාධිපතිවරයා මැණික්හින්න පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයෙකි.
අත්අඩංගුවේ පසුවන ප්‍රධාන සැකකරු විසින් පොලිසිය හමුවේ සිදුකළ පාපොච්චාරණයට අනුව, තමා ඝාතනයෙන් පසු සැඟවී සිටියේ අදාළ රියැදුරුගේ නිවසේ බවත්, ඔහු විසින් මෙම පොලිස් නිලධාරියාව තමන්ට හඳුන්වා දුන් බවත් පවසා ඇත. එම පොලිස් නිලධාරියා තමන්ට පවසා ඇත්තේ තමාගේ සහෝදරයා උසස් පොලිස් නිලධාරියෙකු බැවින් කිසිවකට බිය විය යුතු නැති බවයි.
විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වී ඇත්තේ, ප්‍රධාන සැකකරු විසින් එම රියැදුරුගේ බිරිඳ විදෙස්ගත කරන බව පවසා ඔහුගෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාගෙන ඇති බවයි. මීට අමතරව සැකකරු යාපනයට පලාගිය දිනයේදී රියැදුරුගේ පුතා විසින් රුපියල් 50,000ක් වටිනා ජංගම දුරකථනයක් සහ සිම් පතක් ද ලබා දී තිබේ.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ, රියැදුරු සහ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස අද දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
















