රැඳවුම් භාරයේ සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක නොහොත් ‘හරක්කටා’ නමැත්තාට සහන සැලසීමට සහ බූස්ස බන්ධනාගාරයෙන් වෙනත් ස්ථානයකට මාරු කිරීමට පවසා, ඔහුගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ 1,200ක අල්ලස් මුදලක් ලබාගත් බවට චෝදනා ලැබූ සැකකරුවන් තිදෙනා ලබන ජූලි මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ, හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා මෙලෙස රිමාන්ඩ් කෙරිණි.
අල්ලස් කොමිසම වෙනුවෙන් සහකාර නීති අධ්‍යක්ෂ අනූෂා සම්බන්දප්පෙරුම මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, මෙම සැකකරුවන් 2023 වසරේදී ඩුබායි රාජ්‍යයට ගොස් ‘හර්බි’ නැමැති තැරැව්කරුවෙකු මාර්ගයෙන් හරක්කටාගේ බිරිඳ හමුවී ඇති බවයි. එහිදී ජීවිත ආරක්ෂාව සැලසීම සහ බන්ධනාගාරය මාරු කිරීම වෙනුවෙන් මුලින් ලක්ෂ 5,000ක් ඉල්ලා පසුව එය ලක්ෂ 1,200කට එකඟ කරගෙන අත්තිකාරම් ලෙස ඩිරාම් මුදලින් ලබාගෙන ඇත. පොරොන්දු ඉටු නොකිරීම නිසා පසුව ඇති වූ දුරකථන සංවාද පටිගත කිරීම් ද සාක්ෂි ලෙස ලැබී තිබේ. මෙම මුදල් උන්ඩියල් ක්‍රමයට ලංකාවට ගෙන්වා ඇති අතර, අදාළ කාල සීමාව තුළ පළමු සහ දෙවන සැකකරුවන් සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම් සහ නිවාස ඉදිකිරීම් සිදුකර ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශන ක්‍රියාත්මක බව ද කොමිසම දැනුම් දුන්නේය.
මෙහිදී සැකකරුවන්ට ‘Sleep apnea’ සහ දරුණු හෘද රෝගී තත්ත්වයන් පවතින බව පවසමින් ඔවුන්ගේ නීතිඥයින් ඇප ඉල්ලා සිටිය ද මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේය. නඩුව අතරතුර නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව වෙනුවෙන් යැයි පවසමින් කරුණු දැක්වුව ද, පසුව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කළේ සැකකාර නීතිඥවරයා වෙනුවෙන් කරුණු දැක්වීමට තමන් කිසිදු නීතිඥවරයෙකුට බලය පවරා නොමැති බවයි.
















