ශ්‍රී ලංකාවේ සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේගේ නිල අනුග්‍රාහකයා ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් වන උස්වත්ත බිස්කට් පෞද්ගලික සමාගම අත්වැල් බැඳගෙන තිබේ. ජූනි 22 වන දින රුමේෂ්ගේ උපන් ගම් ප්‍රදේශය වන කැනන්තුඩාවේදී පැවැත්වුණු විශේෂ උපහාර උත්සවයකදී උස්වත්ත සමාගම විසින් රුමේෂ් තරංග වෙත රුපියල් මිලියන 2.5ක මුදල් ත්‍යාගයක් පිරිනැමූ අතර, ඔහුගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න මහතාට ද රුපියල් 500,000ක මුදල් ත්‍යාගයක් පිරිනමමින් ඇගයීමට ලක් කෙරිණි.
මෙම අවස්ථාවේදී උස්වත්ත සමාගම ප්‍රතිඥා දුන්නේ 2028 වසරේ පැවැත්වීමට නියමිත ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල දක්වාම රුමේෂ් තරංගගේ ඔලිම්පික් සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් නිල අනුග්‍රාහකයා ලෙස අඛණ්ඩව සහයෝගය ලබා දෙන බවයි.
රුමේෂ් තරංග මෑතකදී රෝම ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර් 92.62ක දුරක් හෙල්ලය විසිකරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවූ අතර, එය 2026 වසරේ ලොව හොඳම හෙල්ල විසිකිරීමේ දක්ෂතාවය ලෙස ද ඉතිහාසයට එක් විය. එමෙන්ම කටාර්හි දෝහා නුවර පැවැති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී ද දක්ෂතා දක්වමින් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ද ඔහු සමත් විය. වසර 70කට වැඩි ඉතිහාසයක් ඇති උස්වත්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍රී ශංකර් පෙරේරා මහතා මෙහිදී ප්‍රකාශ කළේ ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙන එන මෙවැනි වීරයන් දිරිගැන්වීමට තමන් සැමවිටම කැපවී සිටින බවයි.
















