අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටීමට හෝ කරුණු දැක්වීමට තමන් කිසිදු නීතිඥවරයෙකුට බලය පවරා නොමැති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) නිල නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ඊයේ (25) සවස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගය අතරතුර, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාව නියෝජනය කරමින් කරුණු දක්වන බවට ඇතැම් නීතිඥවරුන් ප්‍රකාශ කළ ද, එවැනි කිසිදු නියෝජනයක් කිරීමට සංගමය තීරණය කර නොමැති බව එහි දැක්වේ.
සිය සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති මෙවැනි අවස්ථාවක නීතිඥ සංගමයේ එකම කාර්යභාරය වන්නේ, අදාළ නෛතික ක්‍රියාමාර්ග නිවැරදිව සිදු වන්නේ දැයි නිරීක්ෂණය කිරීම සහ ඉදිරි පියවර පිළිබඳව සංගමය දැනුවත් කිරීම පමණක් බව ද ඔවුන් වැඩිදුරටත් මීට පෙර පැහැදිලි කර තිබේ.
















