ලංකාවේ පොල් සහ ආහාරපාන ආශ්‍රිත අපනයන කර්මාන්තය ඉදිරි වසර දෙක ඇතුළත ඩොලර් බිලියන 03ක (රුපියල් බිලියන 900කට අධික) දැවැන්ත ආර්ථිකයක් බවට පත්කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය කර්මාන්තකරුවන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙම නව සැලසුම යටතේ පොල් ආශ්‍රිත අපනයනවලින් ඩොලර් බිලියන 02ක් සහ ආහාරපාන අපනයනවලින් ඩොලර් බිලියන 01ක් උපයා ගැනීමට අපේක්ෂා කෙරේ.
අගය එකතු කළ නිෂ්පාදන (Value-added products) සහ අපනයන විවිධාංගීකරණය වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි උපරිම දිරිගැන්වීම් ලබාදෙන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. විශේෂයෙන්ම උතුරු පළාතේ පොල් ආශ්‍රිත නව කර්මාන්ත ආරම්භ කිරීමට රජයේ පූර්ණ සහාය දෙන බව පැවසූ ජනාධිපතිවරයා, දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කරමින් අපනයනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වීම විධිමත් කරන බවද සඳහන් කළේය. දේශීය සැපයුම් දාම ශක්තිමත් කරමින් අපනයන මූලික කරගත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම තම රජයේ ප්‍රධානතම අපේක්ෂාව බව ද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
















