අමෙරිකානු තාක්ෂණික සමාගම් ඉලක්ක කර ඩිජිටල් සේවා බද්දක් පනවන ඕනෑම යුරෝපීය රටකට සියයට 100ක ආනයන බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. තම සමාජ මාධ්‍ය වේදිකාව වන ‘ටෘත් සෝෂල්’ (Truth Social) ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, අමෙරිකානු සමාගම් ඉලක්ක කර මෙවැනි බදු ක්‍රම හඳුන්වා දීම කිසිසේත් ඉවසීමක් නොමැති ක්‍රියාවක් බවයි. දැනටමත් යුරෝපීය රටවල් කිහිපයක් මෙවැනි බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව හෙළිදරව් කර ඇති ට්‍රම්ප්, ඒ සඳහා අවසර ලබා නොදෙන බවට අවධාරණය කර සිටී.
මෙම නව තීරණයත් සමඟ එම රටවල් සමඟ අමෙරිකාව පවත්වාගෙන යන ඕනෑම වෙළෙඳ ගිවිසුමක් අහෝසි වන බවද ජනාධිපතිවරයා පවසා ඇත. දැනටමත් අත්සන් කර ඇති හෝ ක්‍රියාත්මක වෙමින් පවතින ගිවිසුම් පවා මෙම තීරණයට යටත් වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. අමෙරිකානු තාක්ෂණික දැවැන්තයින්ට එරෙහිව යුරෝපීය කලාපය තුළ ගොඩනැඟෙන මෙම බදු ප්‍රවණතාව, අමෙරිකානු ආර්ථිකයට සෘජු තර්ජනයක් ලෙස හඳුනාගෙන ඇති ට්‍රම්ප් පරිපාලනය, එම පියවර වහාම නතර කරවීමට දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී.
ජනාධිපතිවරයාගේ මෙම අනතුරු ඇඟවීම ජාත්‍යන්තර වෙළෙඳ ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්ව ඇති අතර, යුරෝපීය සංගමය ඇතුළු පාර්ශ්වයන් මෙම තීරණයට එරෙහිව කඩිනම් ප්‍රතිචාර දැක්වීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකාව සහ යුරෝපා රටවල් අතර පවතින ආර්ථික සබඳතා බිඳ වැටීමේ අවදානමක් සහ ඉදිරියේදී ගෝලීය වෙළෙඳාම තුළ දැඩි තරගකාරීත්වයක් ඇතිවීමේ හැකියාවක් මෙම සිදුවීම හරහා මතුව තිබේ.
















