චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවය ඊයේ (26) කොළඹදී පැවැත්විණි. චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එක්ව සංවිධානය කළ මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙනග් හොන්ග්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් ජී. වීරසිංහ සහ සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර යන මහත්වරුන් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් එක්ව සිටියහ. දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ මිත්‍රශීලි සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සැමරුමේ ප්‍රධාන අරමුණ විය.
සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් යොමු කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, සියවසකට අධික කාලයක් තුළ චීන කොමියුනිස්ට් පක්ෂය විසින් අත්කරගෙන ඇති ජාතික සංවර්ධනය සහ සමාජීය ප්‍රගතිය ඇගයීමට ලක් කළාය. විශේෂයෙන්ම ගෝලීය ආර්ථික වර්ධනය, තාක්ෂණික නවෝත්පාදනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම උදෙසා චීනය ලබා දී ඇති සුවිශේෂී දායකත්වය මෙහිදී ඇය පෙන්වා දුන්නාය. දේශීය දේශපාලන නියෝජිතයින් අදහස් දක්වමින් අවධාරණය කළේ, චීනයේ අත්දැකීම් සහ මඟ පෙන්වීම් ශ්‍රී ලංකාවට ආදර්ශයක් බවත්, ජාතික එකමුතුව සහ වාර්ගික සහජීවනය ශක්තිමත් කිරීමට රජය කැපවී සිටින බවත්ය.
මෙම උත්සවයේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා, දෙරටේ තරුණ පරපුර අතර පවතින අන්තර් පුද්ගල සබඳතා වර්ධනය කිරීම ද්විපාර්ශ්වික සබඳතා අනාගතයේදී තවදුරටත් පුළුල් කිරීමට ඉවහල් වන බව ප්‍රකාශ කළේය. අන්‍යෝන්‍ය ගෞරවය සහ අවබෝධය පදනම් කරගත් මෙම මිත්‍රශීලි සබඳතා, ඉදිරි කාලයේදී ආර්ථික හා තාක්ෂණික වශයෙන් දෙරට අතර පවතින සහයෝගීතාව නව මට්ටමකට රැගෙන යාමට අවස්ථාව සලසා දෙනු ඇත. ජාතික මට්ටමින් මෙවැනි සැමරුම් සංවිධානය කිරීම මගින් අන්තර්ජාතික සහයෝගීතාව සහ දේශීය සංවර්ධන අරමුණු අතර පවතින සමීප සම්බන්ධතාව යළිත් වරක් තහවුරු විය.
















