සද පෙන්වූ විට, ඒ දෙස බලමින්, කවියන් කව් පබදින්නටද, ගී ලියන්නන්, ගී ලියන්නටද, විද්‍යාඥයන් ඒ පිළිබදව පර්යේෂණ සිදුකරන්නටද ආදී වශයෙන් නොයෙක් ආකාරයේ ක‍්‍රියාමාර්ගවල නියැලෙන්නාහ. බුද්ධිමත්හු තමන් වෙත පෙන්වා දෙන යමක් සම්ව්න්ධයෙන් කටයුතු කරන්නේ එසේය.
එසේ මුත් අඥාණ තැනැත්තේ, සද දෙසට දිගු කරන ලද ඇගිල්ල දෙස බලමින් එහි පාට, ඉරි, නියපොතු ඇදී තිබීම, ආදී අවශේෂ කරුණු ගැන වදවීමය. අපට මේ පූර්විකාව ලියන්නට සිදුවූයේ පසුගිය දිනවල පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අදාළව අප විසින් හෙළිදරව් කරන ලද කරුණු පිලිබදව පේරාදෙණියේ ඉහල බලධාරීන් සහ “සම- හරක්” තැනැත්තන් විසින් කටයුතු කරමින් සිටින ආකාරය හේතුකොටගෙනය.
එසේම බහුතරයක් වන විශ්වවිද්‍යාල ප‍්‍රජාව සම සිතින් මෙම විවේචන ඉවසා සිටියද “සම – හරක්” තැනැත්තන් විවේක කාමර වලද, ආපනශාලාවන්හීදීද, ගස් ගල් යටද, බෝක්කු උඩද, මෙම හෙලිදරව් කිරීම් මගින් පේරාදෙණියේ කීර්තිනාමයට හානි සිදුවන බවට පොළවේ පස් කමින් වැළපෙන බවද අපට දැනගැනීමට ඇත.
එම “සම- හරක්ට” කිව යුත්තේ අපකීර්තියක් සිදු වන්නේ නම් එසේ වන්නේ මෙවැනි තක්කඩි ක‍්‍රියාවන් සිදුකරන්නන් අතින් මිස ඒවා හෙලිදරව් කිරීමෙන් නොවන බවය. “රජා හෙළුවෙන්” යන විට ඒ බව කීමට අපට බියක් හෝ චකිතයක් නැත.
අප පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුව තිබෙන තක්කඩිකම් ගණනාවක් පිළිබදව හෙලිදරව් කරනු ලැබුවේ ඒ පිළිබදව වන තහවුරු කල හැකි සාධක ප‍්‍රමාණවත් තරම් අප අත තබාගෙනය.මෙම කරුණු බොරු බවට කිසිවෙකු මෙතෙක් අභියෝග කර නැත.අප කියා ඇති කරුණු සම්පූර්ණයෙන්ම “අතේ රෝල්” වන්නේ නම් ඒ පිළිබදව ගත හැකි බුද්ධිමත් ක‍්‍රියාමාර්ග ගනනාවක් ඇත.
නිවැරදි කරුණු ඉදිරිපත් කරමින් නිවැරදි කිරීමක් ඉල්ලා සිටීම, අදාල නියාමන ආයතනයකට පැමිණිලි කිරීම හෝ අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීම ආදිය ඒ අතර වෙයි.
හැබැයි ඉහත ක‍්‍රියාමාර්ග ගත හැක්කේ හෙලිදරව් කල කරුණු “අතේ රෝල්” වන්නේ නම් පමණකි.හෙලිදරව් කරන ලද කරුණු අනුව තමන්ගේ පාර්ශවයේ යම් යම් අඩුපාඩු ඇත්නම් පේරාදෙණියේ පාලකයන් සිදුකල යුත්තේ එකී අඩුපාඩු නිවැරදි කර දුෂිත පුද්ගලයන් සදහා නිසි ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීමය.
එසේ නොමැතිව තමන් සිදුකර තිබෙන සියළු ක‍්‍රියාවන් පරම නිවැරදි කටයුතු බව සිතමින් තම රාජධානියේ සිට “පාලූ ගෙයි වලං බිදින්නාසේ” මෙම “හෙලිදරව් කිරීම් පසුපස කිසියම් පුද්ගලයන් පිරිසක් සිටින බවට” උපකල්පනය කරමින් ඔවුන් කවුරුන්දැයි සොයා ගැනීම සදහා (Find Who are behind ) වැර වෑයම් කිරීම ඵළදායී කටයුත්තක් නොවන බව කියා සිටිමට අපි කැමැත්තෙමු.
TTV News ආයතනය මෙරට පවතින සියළු නීති රීතීන්ට යටත්ව පවත්වාගෙන යනු ලබන පිළිගත්, ප‍්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් බවත්, අපගේ දුරකථන අංක, ලියාපදිංචි ලිපිනය සහ කතෘවරුන් කවුරුන්ද යනාදී සියළු තොරතුරු අප නිසි ලෙස හෙලිදරව් කර තිබෙන බවත් මතක් කර දීමට කැමැත්තෙමු.කිසිවෙකුට ගැටළුවක් ඇත්නම් දුරකථන මගින්, ලිපි මගින් හෝ අන්‍යාකාරයෙන් අප සමග සන්නිවේදය කිරීමේ කිසිදු බාධාවක් නැත.එසේම මෙරට උත්තරීතර නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් භාෂණයේ ප‍්‍රකාශයේ සහ අදහස් පලකිරීමේ නිදහස තහවුරු කර තිබෙන බවද, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබද පනත මගින් එය වැඩිදුරටත් බලගන්වා තිබෙන බවද, මතක් කර දීමට අපි කැමැත්තෙමු.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය, එහි උපකුලපති හෝ වෙනයම් බලධාරියෙකු නීතියට ඉහලින් සිටින බව අප කල්පනා කරන්නේ නැත.එසේම පේරාදෙණිය විශ්වවිද්‍යාලය කිසිවෙකුගේ “නින්දගමක්” නොව “මහජන දේපලක්” බව අපි දැන සිටිමු.ඒ නිසාවෙන් මහජන මුදලින් නඩත්තු වන මෙම ආයතන වල එම මහජන මුදල් නැති නාස්ති කිරීමේ කටයුතු සිද්ධ වේ නම් සහ නීතියටත් සදාචාරයටත් එරෙහි තක්කඩි ක‍්‍රියා සිදු වේ නම් ඒවා ජනතාව වෙත හෙලිදරව් කිරීමේ පරම වගකීමක් මාධ්‍ය ආයතනයක් ලෙසට අපට තිබෙන බව අප විශ්වාස කරන්නෙමු.උපකුලපති මධුජිත් ඇතුළු බලධාරීන් සිදුකල යුත්තේ එම සාධනීය විවේචන ඉවසමින් තම වැරදි නිවැරදි කර ගැනීමය.
ඊට ප‍්‍රතිලෝමව පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ එහි උපකුලපති සිටින්නේ නීතියට ඉහලින් බවත්, “නීතිය යනු උපකුලපති මධුජිත් කැමැති දේ පමණකැයි” ඔහු සිතන්නේ නම් සිදුකල හැකි කටයුතු කිහිපයක් යෝජනා කිරීමටද අප කැමතිය.
ඒ අනුව පේරාදෙණිය බලධාරීන්ට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් එහි තුන්වන පරිච්ඡේදයේ 14 (i) ව්‍යවස්ථාවේ සහතික කර තිබෙන භාෂණයේ ප‍්‍රකාශණයේ සහ අදහස් පලකිරීමේ නිදහස අහෝසිකර දැමිය හැක.මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පමණක් දෙවැනිව ක‍්‍රියාත්මක වන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිලිබද පනත අහෝසිකර දැමිය හැක.එසේම “රාජ්‍ය රහස් පනත” වැනි බලවත් පනතක් සම්මත කර “පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රහස්” මහජනතාවට දැනගැනීම වලක්වා ලිය හැක.
ටෙරන්ස් මධුජිත් ”රාජ්‍යය යනු මම” යැයි කියූ ප‍්‍රංශයේ xiv වන ලූවී රජු නොවන බැවින් එය කිසිදා කල නොහැකි කාර්යයක් බව ඔහු අවබෝධ කරගනු ඇතැයි අපි සද්භාවයෙන් යුතුව සිතන්නෙමු.
















