දේශීය සිනමා කර්මාන්තයට නව ප්‍රබෝධයක් ලබාදෙමින් දිවයිනේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් නවීන පහසුකම් සහිත සිනමා ශාලා ජාලයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ. ගෝනවිල, පන්නල, පිටකෝට්ටේ, නාරම්මල සහ නිට්ටඹුව යන ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට එස්. එම්. සුරේෂ් කාංචන, රත්නසිරි පතිරණ, එන්. රණසිංහ, ඒ. ගොඩකන්ද සහ ඒ. බී. වරුණ යන මහත්වරුන් එකඟතාව පළ කර ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන සෑම සිනමා ශාලාවක්ම නවීන තාක්ෂණයෙන් සන්නද්ධ වන අතර, ආසන 50ත් 100ත් අතර ධාරිතාවකින් යුතුව සැලසුම් කර තිබේ. සිනමාව සාමාන්‍ය ජනතාවට සමීප කරවීම සහ ප්‍රාදේශීය මට්ටමින් සිනමා සංස්කෘතියක් ගොඩනැගීම අරමුණු කරගනිමින් ආරම්භ කෙරෙන මෙම වැඩපිළිවෙල, දේශීය සිනමා නිර්මාණකරුවන්ට සිය නිර්මාණ ප්‍රේක්ෂකයා වෙත රැගෙන යාමට ලැබෙන නව අවස්ථාවක් ලෙස විචාරකයින් දකිති.
ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශවල සිනමා ශාලා නොමැතිකම නිසා සිනමා නිර්මාණ නැරඹීමට පැවති දුෂ්කරතා මඟහැරවීමට මෙම ආයෝජනය ඉවහල් වනු ඇත. ඉදිරියේදී නවීන තාක්ෂණය භාවිතයෙන් සිනමා ශාලා පද්ධතියක් රට පුරා ව්‍යාප්ත කිරීම මගින්, සිනමාව නගරයට පමණක් සීමා නොවී ගම් දනව් කරා ද රැගෙන යාමේ හැකියාව උදාවනු ඇති අතර, එය සමස්ත සිනමා ක්ෂේත්‍රයේ ප්‍රගමනයට අත්‍යවශ්‍ය මූලික පියවරක් වනු ඇත.
















