පාසල් සහ විශ්වවිද්‍යාල මට්ටමේ කාන්තා ක්‍රීඩා ඉසව් සඳහා ට්‍රාන්ස්ජෙන්ඩර් කාන්තාවන්ගේ (Transgender women) සහභාගී වීම තහනම් කිරීමට ප්‍රාන්ත රජයන්ට පූර්ණ බලය ඇති බව අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඒ අනුව, උපතේදී තීරණය වන ලිංගිකත්වය පදනම් කරගෙන පමණක් කාන්තා ක්‍රීඩා කණ්ඩායම් සඳහා ක්‍රීඩිකාවන් තේරිය යුතු බවට අයිඩහෝ (Idaho) සහ වෙස්ට් වර්ජිනියා (West Virginia) ප්‍රාන්ත පනවා තිබූ නීතිවල නීත්‍යානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙහිදී තහවුරු කරන ලදී.
ජෛව විද්‍යාත්මක පිරිමින් සහ ජෛව විද්‍යාත්මක ගැහැනුන් වෙනුවෙන් වෙන වෙනම ක්‍රීඩා කණ්ඩායම් පැවතීම සාධාරණ බව පෙන්වා දෙන විනිසුරුවරුන්, එයින් කාන්තා ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව සහ තරගකාරීත්වයේ සාධාරණත්වය සුරැකෙන බව අවධාරණය කර ඇත.
මෙම තීන්දුවත් සමඟ අමෙරිකාවේ ප්‍රාන්ත රැසක ක්‍රියාත්මක වන මෙවැනි ක්‍රීඩා තහනම් කිරීම් ඉදිරියටත් නීත්‍යානුකූලව පවත්වාගෙන යාමට අවස්ථාව ලැබෙන අතර, මෙය ට්‍රාන්ස්ජෙන්ඩර් ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල දැඩි විවේචනයට ලක්ව තිබේ.
















