අභාවප්‍රාප්ත ප්‍රවීණ සිනමා නිළි මාලනී ෆොන්සේකා මහත්මියගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වන ‘රැජිණියේ’ චිත්‍රපටයට ඇයගේ පවුලේ සාමාජිකයන් විසින් දැඩි විරෝධය පළ කර තිබේ. චිත්‍රපටයේ නිෂ්පාදක ජයන්ත ධර්මදාස මහතා වෙත දමයන්ති ෆොන්සේකා මහත්මිය විසින් මේ සම්බන්ධයෙන් ලිඛිතව කරුණු විමසා ඇති අතර, පවුලේ නිල නිවේදනයක් සමනලී ෆොන්සේකා මහත්මිය විසින් තම සමාජ ජාල ගිණුමට මුදාහැර ඇත.
සමනලී ෆොන්සේකා මහත්මිය පෙන්වා දෙන්නේ මාලිනී ෆොන්සේකා මහත්මිය වෙන්වී වසරක් යන්නටත් මත්තෙන් ඇගේ ජීවිත කතාව සිනමාවට නැඟීමේදී පවුලේ අයට ලිඛිත තිරපිටපත (Script) ලබා දෙන බවට දුන් පොරොන්දුව නිෂ්පාදක කණ්ඩායම විසින් අමු අමුවේ උල්ලංඝනය කර ඇති බවයි. තිරපිටපත පෙන්වීමට දිගින් දිගටම පොරොන්දු වුවද, පවුලේ සාමාජිකයන් මුළුමනින්ම නොසලකා හරිමින් අද (30) දින අත්තනෝමතික සහ සදාචාර විරෝධී ලෙස එහි රූගත කිරීම් ආරම්භ කර ඇති බව ඇය සඳහන් කරයි.
මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසාන කාලයේදී ජයන්ත ධර්මදාස මහතා කළ උපකාරවලට පවුලේ ගෞරවය හිමිවන නමුත්, චිත්‍රපටයක් කිරීම වෘත්තීයමය කරුණක් බැවින් එහි විනිවිදභාවයක් තිබිය යුතු බව පවුලේ අදහසයි. ශ්‍රේෂ්ඨ කලාකාරිනියකගේ ජීවිතය ඇගේ මරණයෙන් පසු සුළු පිරිසකගේ පටු වාණිජ පරමාර්ථ උදෙසා මෙලෙස අවභාවිත කිරීම සමස්ත කලා ක්ෂේත්‍රයේම ආචාර ධර්මවලට පටහැනි බව පවුලේ සාමාජිකයන් වෙනුවෙන් සමනලී ෆොන්සේකා මහත්මිය වැඩිදුරටත් අවධාරණය කර සිටී.
















