චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) පිහිටුවීමේ 105 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් ඊයේ (29) සවස බීජිං හි මහජන මහා මන්දිරයේදී (Great Hall of the People) විශේෂ ගී ප්‍රසංගයක් පවත්වා තිබේ. ‘ජනතාවට මුල් තැන (Putting the People First)’ යනුවෙන් නම් කර තිබූ මෙම ප්‍රසංගය නැරඹීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් (Xi Jinping) ඇතුළු එරට ඉහළම දේශපාලන නායකයන් සහ විදෙස් රාජ්‍යතාන්ත්‍රිකයන් ඇතුළු 3,000කට අධික පිරිසක් එක්වූ බව ෂින්හුවා (Xinhua) පුවත් සේවය වාර්තා කරයි.
අංග පහකින් සමන්විත වූ මෙම ප්‍රසංගය හරහා චීන විප්ලවීය විරුවන් අනුස්මරණය කිරීම, හමුදා-සිවිල් සහයෝගීතාව, සමාජවාදී විප්ලවයේ සංවර්ධනය මෙන්ම නව යුගය තුළ චීනය ලබා ඇති ආර්ථික හා සමාජයීය ජයග්‍රහණ කලාකරුවන් විසින් වේදිකාව මත නිරූපණය කරන ලදී. ප්‍රසංගය අවසානයේදී සියලුම ප්‍රේක්ෂකයන් නැගී සිට ‘කොමියුනිස්ට් පක්ෂය නොමැති නම්, නව චීනයක් නැත’ යන චීන ගීතය සාමූහිකව ගායනා කරමින් උත්සවය නිමා කර ඇත.
















