ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ පවතින වත්මන් සටන්විරාමය උල්ලංඝනය කරන ඕනෑම ක්‍රියාවකට ඉරාන සන්නද්ධ බලකායන් උපරිමයෙන් සූදානමින් සිටින බවත්, ඊට තීරණාත්මක ලෙස ප්‍රතිචාර දක්වන බවත් ඉරානයේ වැඩබලන ආරක්ෂක අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරාල් මජිඩ් එබ්නොල්රෙසා (Majid Ebnolreza) අවධාරණය කර තිබේ. කටාර් රාජ්‍යයේ ආරක්ෂක කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂීක් සවුද් බින් අබ්දුල්රහ්මාන් බින් හසන් අල් තානි සමඟ ඊයේ (30) පැවැති දුරකථන සංවාදයකදී ඔහු මේ බව කියා සිටියේය.
මෙහිදී සටන්විරාමයකට මඟ පෑදූ මැදිහත් වීමේ උත්සාහයන් වෙනුවෙන් කටාර් වෙත සිය ස්තුතිය පිරිනැමූ වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා, එසේ වුවද ඉරානය කිසිසේත් ඇමෙරිකාව විශ්වාස නොකරන බව පැවසීය. “අපි සතුරා විශ්වාස කරන්නේ නැහැ. අපේ දෑත් තවමත් පවතින්නේ තුවක්කුවේ කොකා මතයි. කිසිඳු සැකයකින් තොරව සටන්විරාමයේ යම් කොන්දේසියක් උල්ලංඝනය වුවහොත්, අපි ඊට සාපේක්ෂව දැඩි පියවර ගන්නවා” යනුවෙන් එබ්නොල්රෙසා ප්‍රකාශ කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
සටන්විරාමය ක්‍රියාත්මක වූ දා සිට ඇමෙරිකානු පාර්ශ්වය දැනටමත් කිහිප වතාවක්ම තම පොරොන්දු උල්ලංඝනය කර ඇති බවත්, දශක ගණනාවක පවතින අවිශ්වාසය දෙරට අතර සබඳතාවලට බලපා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. තවද පර්සියානු ගල්ෆ් සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) උපායමාර්ගික මුහුදු තීරය කලාපයෙන් බැහැර රටවල් විසින් අවභාවිත නොකළ යුතු බවත්, විදේශීය බලවේගවල පැවැත්ම කලාපයේ අනාරක්ෂිතභාවය වැඩි කිරීමට හේතු වන බවත් පැවසූ අමාත්‍යවරයා, කටාර් ඇතුළු අසල්වැසි රටවල් සමඟ ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීමට ඉරානය සූදානම් බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















