දශක ගණනාවක් පුරාවට දෙමාපියන්ගේ විශ්වාසය දිනාගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, මෙරට පාසල් දුවා දරුවන්ගේ ඉගෙනුමට සහ සංවර්ධනයට මනා සහයෝගයක් ලබා දෙයි. පරම්පරා ගණනාවක පටන් දරුවන්ගේ ළමා අවදියේ සමීපතමයෙකු වන Atlas, සිය දිගුකාලීන සම්ප්රදාය මත පදනම් වෙමින් ශ්‍රී ලංකාවේ පළමු SLS සහතික ලත් වතුර බෝතලය හඳුන්වා දීමට පියවර ගනු ලැබීය. මෙම හඳුන්වා දීම ඉගෙනුම් නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඔබ්බට විහිදී ගොස්, දරුවන්ගේ දෛනික අවශ්‍යතාවයකට විශ්වාසදායී සහතිකයක් ලබා දෙන දුරදර්ශී පියවරක් ද වේ.
නිෂ්පාදන ආරක්ෂාව, තත්ත්ව සහතික කිරීම සහ විශ්වාසදායක ප්රමිතීන් කෙරෙහි පාරිභෝගිකයින් වැඩි අවධානයක් යොමු කරන කාල වකවානුවකදී මෙම නවතම හඳුන්වා දීම කාලෝචිත වශයෙන් වැදගත් වේ. මෙම SLS සහතිකය ලබා ගැනීම සඳහා වතුර බෝතලය දැඩි ඇගයීම් ක්‍රියාවලියකට ලක් වූ අතර, එය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් හඳුන්වා දුන් ප්ලාස්ටික් වතුර බෝතල් සඳහා වන නව ජාතික ප්‍රමිතියේ සියලු නිර්ණායක සපුරාලයි. මෙම සහතිකය ඔස්සේ Atlas වතුර බෝතල් ආරක්ෂාව සහ ගුණාත්මක භාවය සඳහා පිළිගත් ප්රමිතීන් සපුරාලන බවට දෙමාපියන් තුළ මනා විශ්වාසයක් ගොඩනැගේ.
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හි පැවති මෙම එළි දැක්වීමේ උත්සවය සඳහා නියාමන ආයතනවල නියෝජිතයින්, සෞඛ්‍ය සේවා වෘත්තිකයින්, කර්මාන්ත විශේෂඥයින් සහ Atlas හි ඉහළ කළමනාකාරීත්වය එක්ව සිටියහ.
එහිදී අදහස් දැක්වූ Atlas Axillia හි විකුණුම් සහ මෙහෙයුම් අධ්යක්ෂ ඉන්ද්‍රජිත් බින්දු හේවා මහතා පැවසුවේ, වතුර බෝතලයක් සඳහා SLS සහතිකය ලබා ගත් පළමු සන්නාමය ලෙස දෙමාපියන්ට තම දරුවන් දිනපතා භාවිතා කරන නිෂ්පාදන කෙරෙහි වැඩි විශ්වාසයක් ලබා දීමට හැකි වනු ඇති බවයි. එමෙන්ම Atlas Axillia හි අලෙවි සාමාන්‍යාධිකාරී කසුනි බණ්ඩාර මෙනවිය ප්‍රකාශ කළේ, මෙරට පරම්පරා ගණනාවක් පුරාවට Atlas කෙරෙහි තැබූ අඛණ්ඩ විශ්වාසය ඔවුන්ගේ ආයතනයේ විශාලතම ආයෝජනය බවත්, එම විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින් දරුවන් සඳහා සුරක්ෂිත තෝරා ගැනීමක් හඳුන්වා දීමට හැකි වීම පිළිබඳව සතුටු වන බවත්ය.
















