ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 5% සිට 7% – 8% දක්වා ඉහළ නැංවීම සඳහා තොරතුරු තාක්ෂණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍ර ප්රමුඛ කරගනිමින් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන තිබේ.
අදාළ ක්ෂේත්රවල ආයෝජකයින් සහ කර්මාන්තකරුවන් සමඟ අද (ජූලි 01) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම රටේ අනාගතය සුරක්ෂිත කිරීමේ ප්‍රධාන පියවර බවයි. ආර්ථික වර්ධනය වේගවත් කිරීම උදෙසා ලබන වසරේදී රුපියල් ට්‍රිලියන 02ක ප්‍රාග්ධන වියදමක් වෙන් කිරීමට රජය සැලසුම් කර ඇත.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 05ක සහ විදුලි හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්රයෙන් ඩොලර් බිලියන 02ක වාර්ෂික ආදායමක් අපේක්ෂා කෙරේ. කර්මාන්තකරුවන් මුහුණ දෙන බැංකු ගැටලු, ආනයන බාධක සහ දේශීය වෙළඳපොළ ප්‍රවර්ධන දුෂ්කරතා විසඳීම සඳහා නීතිමය හා නියාමන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට රජය එකඟ වී ඇත.
එසේම, අතථ්‍ය විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවීම, පර්යේෂණ උපාංග සඳහා ‘හරිත මාවතක්’ (Green Channel) හඳුන්වා දීම සහ කර්මාන්තකරුවන්ගේ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට ද නියමිතය.
















